අභියෝග මැදත් ශ්‍රී ලංකා අපනයන ආදායම ඩොලර් බිලියන 5.7 ඉක්මවයි
2026 වසරේ මුල් මාස හතර තුළ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයෙන් හොඳ වර්ධනයක් වාර්තා වෙලා තියෙනවා.
ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.7 ඉක්මවා ඇති බව වාර්තා වෙනවා. මෙය 2025 වසරේ ඒ කාලයට සාපේක්ෂව 4.3%ක වර්ධනයක්.
ඒ අතර 2026 අප්‍රේල් මාසයේදී පමණක් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,380කට වැඩි මට්ටමකට ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව 6%ක වර්ධනයක් ලෙස සටහන් වෙනවා.
මෙහිදී භාණ්ඩ අපනයන අංශය විශේෂයෙන් ඉදිරියට ගොස් ඇති අතර, එය 9.87%කින් වර්ධනය වෙලා ඩොලර් මිලියන 1,063කට වැඩි ආදායමක් ලබාගෙන තිබෙනවා. ඒ අතර සේවා අපනයන අංශයත් ඩොලර් මිලියන 317කට ආසන්න ආදායමක් ලබාගෙන වර්ධනයක් පෙන්නුම් කරලා තියෙනවා.
සේවා අංශය තුළ ICT, මූල්‍ය සේවා, ඉදිකිරීම් සහ ප්‍රවාහන–සැපයුම් වැනි ක්ෂේත්‍ර ප්‍රධාන වශයෙන් දායක වෙලා තියෙන බවත් සඳහන්.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසන්නේ, මේ වර්ධනයෙන් රටේ අපනයන ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය සහ ශක්තිමත්භාවය පැහැදිලිව පෙන්නුම් වෙන බවයි.
ඒ වගේම ජාතික අපනයන සංවර්ධන සැලැස්ම යටතේ ගෙන යන වැඩපිළිවෙළ සහ වෙළඳපොළ විවිධාංගීකරණය ඉදිරි කාලයේදීත් මේ වර්ධනය තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවත් සඳහන් වෙනවා.
