විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධන‍යේ පළමු අදියර 98% කට ගෙවා අවසන්

විශ්‍රාම වැටුප් වැඩි කිරීමේ වැඩේ දැන් ගොඩක් දුරට ඉවරයි කියලා රජය කියනවා. ඒ ගැන බලන්න රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අයරත්න පහුගිය 18 වෙනිදා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ගිහින් විශේෂ නිරීක්ෂණයක් කරලා තිබුණා.

එතනදී හෙළිවුණේ විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනයේ පළවෙනි අදියර සාර්ථකව අවසන් කරලා තියෙනවා කියලා. ගෙවීම් ලැබිය යුතු අයගෙන් 98% කට වැඩිය මේ වෙද්දී මුදල් ගෙවලා ඉවරයිලු.

2026 මැයි වෙනකොට විශ්‍රාමිකයින් ලක්ෂ 4යි 29 දාහකට පමණ ගෙවීම් කරලා තියෙනවා. මුළු පද්ධතියේ ලියාපදිංචි විශ්‍රාමිකයන් සංඛ්‍යාව නම් ලක්ෂ 4යි 63 දාහක් වගේ. ඒ වගේම මාසෙකට අලුතින් විශ්‍රාමිකයන් 2,500ක් විතර එකතු වෙනවා කියලත් කියනවා.

මේ අතර විශ්‍රාම වැටුප් වැඩි කිරීමේ දෙවෙනි අදියර එළඹෙන ජූලි මාසයේ ඉඳන් ක්‍රියාත්මක කරන්න සියලු සූදානම් කරලා තියෙන බවත් අනාවරණය වුණා.

විශ්‍රාම වැටුප් ගෙවීම් ඉක්මනින් කරන්න Online System එකකුත් දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මක වෙනවා. ඒ පද්ධතියෙන් මේ වෙද්දී විශ්‍රාමිකයන් 3,97,154 දෙනෙකුගේ දත්ත ස්වයංක්‍රීයව ගණනය කරලා ඉවරයිලු. මේ සම්බන්ධයෙන් රට පුරා විශ්‍රාම වැටුප් නිලධාරීන්ට පුහුණු වැඩමුළුත් තියන්න සැලසුම් කරලා තියෙනවා.

ඒ වගේම දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ වැඩ, තාක්ෂණික පහසුකම් සහ නිලධාරීන්ගේ හැකියාවන් වැඩි කරන වැඩසටහන් ගැනත් අමාත්‍යවරයා අවධානය යොමු කරලා තිබුණා.

විශ්‍රාම වැටුපයි පාරිතෝෂිකයයි වෙන වෙනම ගණනය කරන්න වෙන එක නිසා වැඩ බර වැඩිවෙලා තියෙනවා කියලාත්, දිගින් දිගට තිබෙන හිඟ මුදල් ගැටලු ඉක්මනින් විසඳන්න ඕනේ කියලාත් මෙහිදී සාකච්ඡා වුණා. ඒ වගේම විශ්‍රාමිකයන්ගේ දත්ත ආරක්ෂා කරගැනීම ගැනත් වැඩි අවධානයක් දෙන්න අමාත්‍යවරයා උපදෙස් දීලා තිබුණා.

Share This