Artemis II මෙහෙයුම සාර්ථකයි නියමුවන් සමග යානය හෙට පෘථිවියට

ඓතිහාසික ආටිමිස් II මෙහෙයුම සාර්ථකයි: සඳ වටා ගිය ගගනගාමීන් සිව්දෙනා හෙට යළි පෘථිවියට
නාසා (NASA) ආයතනය විසින් ක්‍රියාත්මක කළ ඓතිහාසික ආටිමිස් II (Artemis II) මෙහෙයුමට එක්වෙමින් සඳ වටා ගිය ගගනගාමීන් සිව්දෙනා සිය මෙහෙයුම සාර්ථකව අවසන් කරමින් හෙට (අප්‍රේල් 10) දිනයේ යළි පෘථිවියට පැමිණීමට නියමිතව ඇත.
ඒ අනුව, ඔරායන් (Orion) අභ්‍යවකාශ යානය මගින් පැමිණෙන ඔවුන් ශ්‍රී ලංකා වේලාවෙන් අනිද්දා අලුයම 5.37 ට පමණ (අප්‍රේල් 10 රාත්‍රී 8.07 ට) ඇමරිකාවේ සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට ආරක්ෂිතව පතිත වනු ඇත. ඉන් අනතුරුව නාසා සහ අමෙරිකානු යුද දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ USS John P. Murtha නෞකාව මගින් ගගනගාමීන්ව ගොඩබිමට රැගෙන ඒමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර තිබේ.
මෙම සුවිශේෂී අභ්‍යවකාශ චාරිකාවේදී ඔරායන් යානය, මීට පෙර 1970 වසරේදී ඇපලෝ 13 (Apollo 13) මෙහෙයුම විසින් පිහිටුවා තිබූ සැතපුම් 248,655 ක උපරිම දුර වාර්තාව ද අභිබවා යාමට සමත් වීම කැපී පෙනෙන සිදුවීමකි. සඳ මත ගොඩබැසීමක් සිදු නොකළ මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වූයේ, පෘථිවියට නොපෙනෙන සඳෙහි පිටුපස කලාපය හරහා පියාසර කරමින් එහි ඡායාරූප ලබා ගැනීම සහ අනාගත අභ්‍යවකාශ ගවේෂණ වෙනුවෙන් යානයේ තාක්ෂණික හා ජීව ආධාරක පද්ධතිවල ක්‍රියාකාරීත්වය මනාව පරීක්ෂා කිරීමයි.
