කුරුණෑගල වැහැර පිපිරීමේ තවත් තොරතුරු එළියට

කුරුණෑගල වැහැර පිපිරීමේ තවත් තොරතුරු එළියට

කුරුණෑගල වැහැර පවත්වාගෙන යන ගෑස් හා ඉන්ධන පිරවුම්හලේ පිහිටි ගෑස් අඩංගු ටැංකියක් ඊයේ (7) රාත්‍රියේ ගිනිගැනීමකින් සිදුවූ පුපුරා යාමකින් පුද්ගලයන් සිවු දෙනෙකු එම ස්ථානයේදීම මරණයට පත්ව තවත් සිවුදෙනෙකු තුවාල ලබා ඇති බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි.

ලොරියකින් රැගෙන ආ හිස් ගෑස් සිලින්ඩර තොගයකට ගෑස් පිරවීමට ගිය අවස්ථාවේදී පෙරේදා රාත්‍රි 11. 15 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව පැවසේ.

කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගය ඉදිරිපිට පිහිටා ඇති මෙම පිරවුම්හලේ ඉදිරි කොටස ඉන්දීය තෙල් සමාගමට අයත් පිරවුම්හලක් ලෙසත් පසුපස කොටස ලාෆ්ස් ගෑස් පිරවුම්හලක් ලෙසත් පවත්වාගෙන යනු ලබන ස්ථානයකි.

ගෑස් සිලින්ඩරවලට ගෑස් පුරවමින් තිබියදී ද්‍රව ගෑස් ලීටර් 6000 ක් අඩංගු විශාල ප්‍රමාණයේ ටැංකියේ එක්වරම ඇතිවූ ගිනි දැල්ලක් ක්ෂණයකින් පැතිර ගොස් විශාල ගින්නක් බවට පරිවර්තනය වී ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.

කුරුණෑගල පුත්තලම මාර්ගයේ පවත්වාගෙන යන කර්මාන්ත ශාලවකට අයත් ලීටර් 70 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර 10 කට ගෑස් පුරවමින් තිබියදී ගින්න හටගෙන ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

එම අවස්ථාවේදී සිලින්ඩර ලොරිය තුළම තබාගෙන ගෑස් පිරවීම සිදුකර ඇති බවද වාර්තා වේ.

එසේ හටගත් ගින්න නිවා දැමීමට උත්සාහ ගත් සේවකයින් ගෑස් සිලින්ඩර පුපුරා යාමේදී ඊට ගොදුරුව මරණයට පත්වන්නට ඇති බව සැක කෙරේ.

කුරුණෑගල මහා නගර සභාවට අයත් ගිනි නිවීම් රථ සියල්ලම යොදා ගනිමින් සියළු ක්‍රමවේද භාවිතා කරමින් ගින්න මැඩලීමට උපරිම උත්සාහ දරා ඇතත් එය අසීරු කරුණක් වී ඇත්තේ ගින්න ඒවනවිටද ඉතා දැඩිව පැතිර ගොස් තිබූ නිසාය. මේ සඳහා වතුර බවුසර 15 ක් පමණ යොදා ගැනීමට ගිනි නිවීම් ඒකකයට සිදුව තිබුණි.

පසුව එම ස්ථානයට පැමිණි ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරියෙකුගෙන් ලත් උපදෙස් අනුව ගිනි නිවීම් නිලධාරින් දැඩි වෙහෙසක් දරා ගෑස් ටැංකියට ද්‍රව ගෑස් සැපයෙන නලය වසා දැමීමෙන් අනතුරුව ගින්න පාලනය කිරීමට හැකිවී තිබේ. ගින්න පාලනය කිරීම සඳහා සහාය වීමට වැහැර යුද හමුදා කඳවුරේ හමුදා සාමාජිකයින්ද කැඳවනු ලැබූහ.

කෙසේ වුවද ගින්න පාලනය කිරීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් කොටසට හානියක් සිදුවීම වළක්වා ගැනීමට හැකිවී තිබේ.

ගින්න පාලනය කිරීමට පැය තුනකට ආසන්න කාලයක් ගතවී තිබූ අතර ගින්නේ අවදානම හේතුවෙන් කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරු කොටසක් පැය කීපයක කාලයක් තාවකාලිකව වසා දැමීමටද පොලීසියට සිදු විය.

මරණයට පත්වූ සිවු දෙනාගේම සිරුරු වලට දැඩි හානි සිදුව පිළිස්සීමට ලක්ව හඳුනාගත නොහැකි තත්ත්වයක පවතින බවද පොලීසිය සඳහන් කළේය.

මේ නිසා මරණයට පත්වූවන් හඳුනාගැනීම සඳහා ඩීඑන්ඒ පරීක්ෂණයකට යෑමට සිදුවන බව කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්ම චන්නක කොබ්බෑවල මහතා ප්‍රකාශ කළේය.

මෙම ස්ථානයේ කටයුතු කිරීමේදී නිසි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කළාද යන්න පිළිබඳවත් සොයා බලමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

මරණයට පත් සියළුම දෙනා කුරුණෑගල හා ඒ අවට පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත. මියගොස් සිටින එක් අයෙකු ලොරියේ රියැදුරා බවට හඳුනාගෙන තිබේ. අනෙක් තිදෙනා පිරවුම් හලේ සේවකයින් බව පැවසේ.

තුවාල ලද පුද්ගලයන් සිවු දෙනා ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව කියයි.

පිපිරුමෙන් ගෑස් සිලින්ඩර රැගෙන පැමිණි ලොරියටද හානි සිදුව තිබෙන අතර ගෑස් සිලින්ඩරද එම ස්ථානය පුරා විසිරී පැවතුනි.

ගින්නට හසුවූ ගෑස් සිලින්ඩර මහා හඬක් නගමින් පුපුරා ගොස් තිබූ අතර එම ශබ්දය බොහෝ ප්‍රදේශ වලටද ශ්‍රවනය වී තිබුණි.

මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය (8) පෙරවරුවේ අනතුර සිදුවූ ස්ථානයේදී කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන හේරත් මහතාගේ උපදෙස් අනුව මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන කුරුණෑගල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය සිදු කරයි.

පුෂ්පකුමාර ජයරත්න

Share This