ආනන්ද විජේපාලට එරෙහි පෙත්සමක් සම්බන්ධ නියෝගයක් කල්යයි

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන මූලික විරෝධතා පිළිබඳ නියෝගය මැයි මස 05 වනදා ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය දැනුම්දී තිබෙනවා.
ඒ, පෙත්සම අද අභියාචනාධිකරණ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී සිද්ධියට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා පාර්ශ්වකරුවන්ට විනිසුරු මඩුල්ල විසින් සතියක කාලයක් ලබාදී ඇති බව සඳහන්.
අනතුරුව පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා ඇතුළු වග උත්තරකරුවන් මතුකළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය මැයි 05 වනදා ප්‍රකාශයට පත්කරන බවටයි විනිසුරු මඩුල්ල නියෝග කර ඇත්තේ.
මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින්.