ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි විස්ස තරගාවලියේ තෙවැනි තරගයේ ජය වැස්සට හේදෙයි

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයට අදාළව පැවැති තෙවැනි සහ අවසන් විස්සයි-20 තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට අද (18දා) සිදු විය.
යුනිවර්සිටි ඕවල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව ලකුණු රැස්කිරීම සඳහා නවසීලන්තයට ආරාධනා කළාය.
ඒ අනුව පිටියට පිවිසි නවසීලන්තයේ ආරම්භක සම්බන්ධතාව ලකුණු 60ක් ලෙසින් දැක්වෙද්දී පළමු කඩුල්ල ලෙස සුසී බේට්ස් ලකුණු 31කට දවා ගැනීමට චමරිට හැකි විය.
දෙවැනි කඩුල්ල බවට පත් වූ එමා මැක්ලෙඩ්ට ලබා ගත හැකි වූයේ ලකුණු 4ක් පමණි. කවීෂා දිල්හාරි හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවූ බෘකි හලිඩේ තෙවැනි කඩුල්ල ලෙසින් දැවී ගියාය.
කෙසේ වෙතත් තරගයේ නවසීලන්ත ඉනිමේ 14 පන්දුවාරයේදී ඇදහැලුුණු වර්ෂාව නිසා තරගය නවතා දැමීමට විනිසුරුවන් තීරණය කළ අතර ඒ වන විට නවසීලන්තය කඩුලු 3කට රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 101කි.
එම අවස්ථාව වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ජෝර්ජියා ප්ලිමර් ලකුණු 46ක් සහ ඉසී ශාප් ලකුණු 17ක් රැස්කරගෙන සිටියාය.
ඒ අනුව දිගින් දිගටම පැවැති වර්ෂාව හමුවේ තරගය අතහැර දැමීමට සිදු විය.
එම තීරණයත් සමගින් විස්සයි-20 තරගාවලිය තරග 1-1ක් ලෙසින් ජය පරාජයෙන් තොරව නිමාවට පත් වූ අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් නවලන්තයේදී විස්සයි-20 තරගාවලියක් සම තත්ත්වයෙන් නිමා කළ පළමු අවස්ථාව ලෙසින් මෙය වාර්තා අතරට එක් විය.
පළමු තරගයේ ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවරිය බවට පත් වූ නායිකා චමරි අතපත්තු තරගාවලියේ වීරවරිය ලෙසින් සම්මාන දිනා ගත්තාය.
කෙසේ වෙතත් තරග 3කින් යුක්ත වූ විස්සයි-20 තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ කඩුලු 7කිනි.
එම තරගයේ පළමුව ලකුණු රැස්කළ නවසීලන්තය සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 101ක් පමණි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 14.1කදී කඩුලු 3ක් පමණක් දැවී එම තරගයේ ජය හිමිකර ගැනීම කැපී පෙනිණි.
එසේම මෙම තරගාවලියේ පළමු විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණය ඉතිහාසයට එක්වූයේ නවසීලන්තයේදී විස්සයි-20 තරගයක ශ්‍රී ලංකාව ලද පළමු ජයග්‍රහණය ලෙසිනි.
කෙසේ වෙතත් පසුගියදා පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී පළමුව ලකුණු රැස්කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 7කට රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 113කි. එම ඉලක්කය හඹා ගිය නවසීලන්ත පිල පන්දුවාර 18.3කදී කඩුලු 3ක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වූහ.
දෙරට අතර එක්දින තරගාවලියෙන් තරග 2-0ක අමිහිරි පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදු විය. එම තරගාවලියේ පළමු තරගය වාර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වූ අතර දෙවැනි තරගයෙන් ලකුණු 78ක ජයක් සහ තෙවැනි තරගයෙන් ලකුණු 98ක ජයක් හිමිකරගත්තේ නවසීලන්ත කාන්තා කණ්ඩායමයි.
- ගමිත දෙහිපිටිය