වැඩ බලන අමාත්‍යවරු 05ක් පත්කෙරේ

ජනපති චීන සංචාරයට එක්වෙයි

වැඩ බලන අමාත්‍යවරු 05ක් පත්කෙරේ

චීන ජනාධිපති ෂී ජින් පිංගේ (Xi Jinping) ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශය 03 සඳහා මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හා ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහා මෙලෙස වැඩබලන අමාත්‍යවරුන් පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ අනුව ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර යන මහත්වරුන් පත්කර තිබෙනවා.

මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍ය කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලෙස පත්කර ඇත්තේ, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතායි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍ය විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ලෙස අරුන් හේමචන්ද්‍ර මහතා පත්කර තිබෙනවා.

ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා වැඩ බලන අමාත්‍ය ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ලෙස පත්කර ඇත්තේ වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතායි.

මේ අතර සිව්දින චීන රාජ්‍ය සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13) රාත්‍රීයේ දිවයිනෙන් පිටත්ව ගියා.

චීන ජනාධිපති ෂී ජින් පිංගේ (Xi Jinping) ආරාධනයකට අනුව ජනාධිපතිවරයා අද (14) සිට ලබන 17 වනදා දක්වා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වනු ඇති.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයේදී චීන ජනපති ෂී ජින් පිංගේ (Xi Jinping), චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං (Li Qiang) යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවීමට නියමිතයි.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර මහත්වරුන්ද මෙම සංචාරය සඳහා එක්ව සිටිනවා.

ඡායාරූප👇🏻

Share This