ශ්‍රී ලංකා කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ගැරී කර්ස්ටන්
ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ගැරී කර්ස්ටන් පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඔහුගේ ධූර කාලය 2026 අප්‍රේල් 15 වනදා සිට ආරම්භ වන අතර, එය 2028 අප්‍රේල් 14 දක්වා වසර දෙකක කාලයක් සඳහා පත් කර ඇත.
කර්ස්ටන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් කැපී පෙනෙන ජාත්‍යන්තර ක්‍රීඩක ජීවිතයක් ගත කළ අතර, 2008 සිට 2011 දක්වා ඉන්දියානු පිරිමි ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත්, 2011 සිට 2013 දක්වා දකුණු අප්‍රිකානු පිරිමි ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් කටයුතු කර ඇත.
ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ඉන්දියාව 2011 වසරේදී අයිසීසී පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වූ අතර, දකුණු අප්‍රිකාව 2013 වසරේදී ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම ආකෘතියකින්ම අංක 1 කණ්ඩායම බවට පත්වීමට කර්ස්ටන් මග පෙන්වීම් ලබා දුන්නේය.
මෑතකදී ඔහු නිමාවට පත් වූ අයිසීසී පිරිමි ටී20 ලෝක කුසලානය 2026 සඳහා නැමීබියා ක්‍රිකට් ආයතනයට ‘උපදේශක’ ලෙස සම්බන්ධ වී සිටියේය.
1993 සිට 2004 දක්වා විහිදුණු ඔහුගේ ක්‍රීඩක දිවිය තුළ, ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර (ODI) යන ක්‍රිකට් ආකෘති දෙකෙහිම ලකුණු 14,087ක් රැස් කළ අතර, ටෙස්ට් ශතක 21ක් සහ එක්දින ශතක 13ක් වාර්තා කිරීමට ඔහු සමත් විය.
කර්ස්ටන්ගේ මූලික වගකීම් අතරට දකුණු අප්‍රිකාව, නැමීබියාව සහ සිම්බාබ්වේ යන රටවල පැවැත්වීමට නියමිත 2027 අයිසීසී පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම සහ මෙහෙයවීම ඇතුළත් වේ.
නව ප්‍රධාන පුහුණුකරු පත් කිරීම ජාතික උසස් කාර්ය සාධන මධ්‍යස්ථානයේ ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උත්සාහයේ කොටසක් බව සඳහන් ය.
