යුධ උණුසුමෙන් අදත් රත්වුණු ලෝක තෙල් මිල
ඇමරිකාව හා ඊශ්‍රායලය ඉරානයට එල්ල කරන ප්‍රහාර තවදුරටත් දැඩි කිරීමත් සමග ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද (09) සැලකිය යුතු ලෙස ඉහළ ගිය බව වාර්තා වේ.
2022 වසරෙන් පසු පළමු වරට බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා යාම මෙහිදී විශේෂත්වයකි. වෙළඳපොල ආරම්භයේදී ඩොලර් 119 දක්වා ඉහළ ගිය මිල පසුව G7 රටවල නායකයන්ගේ මැදිහත්වීමෙන් ගත් තීරණයක් හේතුවෙන් ඩොලර් 103 දක්වා පහත වැටුණි.
නවතම වෙළඳපොල දත්ත අනුව ලෝක වෙළඳපොලේ ඇමෙරිකාවේ ඩබ්ලිව්ටීඅයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 103යි සත 30ක් ලෙස සටහන් විය. එය පෙර දිනයට සාපේක්ෂව සියයට 13.62 ක වැඩිවීමකි.
බ්‍රිතාන්‍යයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 105යි සත 80ක් ලෙස සටහන් වූ අතර එය සියයට 14.10 ක වර්ධනයක් පෙන්නුම් කරයි.
ඉරාන ගැටුම් හේතුවෙන් ලෝක තෙල් වෙළඳපොල දැඩි අස්ථාවරත්වයකට පත්ව ඇති අතර ඉදිරි දිනවලදී තවදුරටත් මිල උච්චාවචනයන් සිදුවිය හැකි බව වෙළඳපොල විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
