පොඩි ලැසී රැගෙන එන ඇල්පිටියටත් විශේෂ ආරක්ෂාවක්

ඉන්දියාවේ සිට මෙරටට විශේෂ පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින් අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’ ඇල්පිටිය විශේෂ විමර්ශන ඒකකයට භාර දීමට නියමිතයි.

මෙම තත්ත්වය හේතුවෙන් සැකකරු රැගෙන එන ඇල්පිටිය පොලිස් ස්ථානය අවටද දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව වාර්තා වේ.

රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර පොලීසියේ මැදිහත්වීම මත ඉන්දියානු ආරක්ෂක අංශ විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.

2024 දෙසැම්බර් 09 වැනිදා ඇප ලබා ගැනීමෙන් අනතුරුව මුහුදු මගින් ඉන්දියාව වෙත පළා ගිය ‘පොඩි ලැසී’, 2025 ජනවාරි මාසයේදී ඉන්දියාවේ මුම්බායි නුවරදී එරට ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව අද (27) අලුයම 05.55 ට මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL-142 දරන ගුවන් යානයෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යටතේ සැකකරු කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බවයි සඳහන් වන්නේ.

Share This