පාතාල සාමාජික ‘වැලිඔය ප්‍රියන්ත’ නමැත්තාගේ සඟයින් තිදෙනෙක් අත්අඩංගුවට

පාතාල සාමාජික ‘වැලිඔය ප්‍රියන්ත’ නමැත්තාගේ සඟයින් තිදෙනෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින, මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල සාමාජිකයෙකු වන ‘වැලිඔය ප්‍රියන්ත’ නමැත්තාගේ මෙරට ප්‍රධාන වෙඩික්කරු සහ තවත් සඟයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය හා පදවිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුගිය 06 වැනිදා රාත්‍රීයේ ‘වැලිඔය ප්‍රියන්ත’ නමැත්තාගේ කොන්ත්‍රාත්තුවකට අනුව පදවිය බෝගහවැව ප්‍රදේශයේ නිවසකට කඩා වැදී 73 හැවිරිදි කාන්තාවකට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් තිබුණා.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී එම කාන්තාව ඝාතනයට යොදාගත් ටී 56 ගිනි අවිය සමඟයි.

සැකකරුවන් සන්තකයේ තිබී එම ගිනි අවිය සමඟ ඊට යොදන පතුරම් ගැබක්, උණ්ඩ 08ක්, විදේශයක නිෂ්පාදිත රිවෝලවරයක්, ඊට යොදන උණ්ඩ 04ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 61ක් සහ හෙරොයින් ග්‍රෑම් 105ක් ද පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

‘වැලිඔය ප්‍රියන්ත’ නමැත්තාගේ කොන්ත්‍රත්තුවක් මත පසුගිය අගොස්තු මස 26 වැනිදා ශ්‍රීපුර කාවන්තිස්සපුර ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් ටී 56 ගිනි අවියකින් පුද්ගලයෙකුට වෙඩි තබා තිබු අතර පසුව අනාවරණ වී තිබුණේ එය වැරදීමකින් සිදුකළ වෙඩි තැබීමක් බවටයි.

ඒ සඳහා යොදාගෙන ඇත්තේද මෙම ටී 56 ගිනි අවිය බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පදවිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Share This