නුවරඑළිය ඩිපෝවේ සිද්ධියට තිදෙනෙක් අත්අඩංගුවට
නුවරඑළිය ලංගම ඩිපෝවේ මුදල් කොල්ලකා, එහි සේවය කළ මුරකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, එම ඩිපෝවේ මුදල් අයකැමිවරුන් දෙදෙනෙකු සහ රියදුරෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.
නුවරඑළිය ලංගම ඩිපෝවේ සේවය කළ මුරකරුවෙකු පසුගියදා (06) අළුයම 3.00 ට පමණ ඝාතනය කර එම ඩිපෝව තුළ බැංකු ගත කිරීමට තිබු රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් ද සැකකරුවන් විසින් සොරකම් කර තිබුණා.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ, එම ඩිපෝවේ මුරකරුවෙකු වශයෙන් සේවය කළ 85 හැවිරිදි ඒ.ලෝගනාදන් නමැති නුවරඑලිය ගැල්වේස් ලෑන්ඩ් ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මුරකරු ඔහුගේ ආරක්ෂක කුටියේ රැඳි සිටින අවස්ථාවේදී සැකකරුවන් පිරිස තියුණු අයුධයකින් මුරකරුගේ හිසට පහර දී ඝාතනය කර මුදල් රැගෙන ගොස් තිබුණා.
මෙම සිදුවීමට පෙර දිනයේ (05) පස්වරුවේ එම ඩිපෝවේ ධාවනය කළ බස් රථවල ආදායම බැංකු ගත කිරිම සඳහා අල්මාරියේ ලාච්චුවක තබා තිබු බවයි නුවරඑලිය ලංගම ඩිපෝවේ නිලධාරියෙකු පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කළ පොලීසිය විසින් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම ඔවුන් සොරාගත් මුදල්වලින් කොටසක්ද මේ වනවිට සොයාගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්.