කරදර වුණු මගීන් වෙනුවෙන් වසර 10කට පසු ශ්‍රී ලංකන් රෝමයට

ගෝලීය ගුවන් ගමන් අවහිරතා හේතුවෙන් පීඩාවට පත් මගීන් සඳහා සහන සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉතාලියේ රෝමය බලා විශේෂ ගුවන් යානයක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව අද (09) දින UL 1213 දරන විශේෂ ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ඉතාලියේ රෝම ෆියුමිසිනෝ ගුවන්තොටුපළ බලා පිටත්ව ගිය බව ගුවන් සමාගම නිවේදනය කළේය.

මෙම විශේෂ ගුවන් ගමන සඳහා එයාර් බස් A330-343 වර්ගයේ ගුවන් යානයක් යොදවා ඇති අතර, මෑතකාලීනව ඇති වූ ගෝලීය ගුවන් ගමන් අවහිරතා හේතුවෙන් විවිධ ගුවන් සේවාවන්හි ගමන් වාර අවලංගු වීම නිසා දැඩි අපහසුතාවයට පත්ව සිටි මගීන් පිරිසක් ඉලක්ක කරගනිමින් මෙම ගුවන් ගමන ක්‍රියාත්මක කර ඇත.

විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් රෝමය බලා සිදුකරනු ලබන සිය නිත්‍ය ගුවන් ගමන් වාර 2016 වසරේ මැයි මාසයේ සිට අත්හිටුවා තිබීමයි. ඒ අනුව වසර දහයකට ආසන්න කාලයකට පසුව ජාතික ගුවන් සේවයේ ගුවන් යානයක් ඉතාලියේ අගනුවර වෙත මෙලෙස ගමන් කිරීම සුවිශේෂී සිදුවීමක් බව ගුවන් සේවා ආරංචි මාර්ග සඳහන් කළේය.

මගී අවශ්‍යතා සලකා බලා මෙවැනි තීරණාත්මක මැදිහත්වීම් සිදුකරන බවත්, අවශ්‍ය අවස්ථාවලදී ගෝලීය ගුවන් සේවා ජාලය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් මගී අර්බුද කළමනාකරණය කිරීමට කැපවී සිටින බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share This