පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ වැඩ ඉක්මන් කරන්න වෙයි

පසුගිය කාලයේ මෙරට සිටි පාලකයින් නිසි තීන්දු තීරණ නොගැනීම හේතුවෙන් රට ආපස්සට ගොස් ඇති බව අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදියි.
කෙසේවෙතත් වැරදි තීන්දු තීරණ ගැනීම තුළින් රට ඉදිරියට ගෙන යාමේ හැකියාව පවතින බවට තමන් විශ්වාස කරන බව ද ඔහු කියාසිටියා.
පසුගිය වසර දෙක තුළ රාජ්‍ය ආයතන නිසි පරිදි වැඩ නොකිරීම සම්බන්ධයෙන් නිලධාරීන්ට දොස් නොපවරන බවත්, එහෙත් පවතින මූල්‍ය සම්පත් කළමණාකරණය කරමින් මෙම වසරේ සිට රජයේ කටයුතු සිදු කරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරින්ගෙන් ඉල්ලීමක් කළා.
පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු 2028 දෙසැම්බර් 31 වන දින අවසන් කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් එම කටයුතු ඊට පෙර අවසන් කරන ලෙසටයි, හර්ෂණන නානයක්කාර මහතා නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේ.
බෝගම්බර බන්ධනාගාරයේ සිටි රැඳවියන් විතැන් කිරිමේ ව්‍යාපෘතිය යටතේ එම බන්ධනාගාරයේ සිටි රැඳවියන් විතැන් කිරීමේ කටයුතු 2007 වසරේදී ආරම්භ කෙරුණා.
මේ වන විට රැඳවියන් 2500ක් පමණ පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින අතර එම සංඛ්‍යාව රැඳවිය හැකි පිරිසට වඩා දෙගුණයක් පමණ බව සඳහන්.
ඒ හේතුවෙන් රැඳවියන්ට මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ටද එය විශාල ගැටලුවක් වී ඇති අතර රැඳවියන්ගේ අයිතිවාසිකම් ද ආරක්ෂා කිරීම වගකීමක් වන බැවින් නව බන්ධනාගාර ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙසයි ඉල්ලා සිටියේ.