උතුරු කොරියාවේ අනාගත නායකත්වයට කිම් ජොන් අන්ගේ දියණිය සැරසෙයි?

උතුරු කොරියාවේ නායක කිම් ජොන් අන්ගේ දියණිය වන කිම් ජු ඒ උතුරු කොරියාවේ අනාගතය නායකත්වය සඳහා සූදානම් කරමින් සිටින බව සඳහන් වන නිල නොවන පුවත් බොහොමයකි. කිම් ජොන් අන් ඇයව පළමු වරට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ජනතාවට හඳුන්වා දුන්නේ 2022 නොවැම්බර් මාසයේදී ය. අනතුරුව ඇය සිය පියා සමග රාජ්‍ය උත්සවවලට සහ මිසයිල පරීක්ෂණවලට සහභාගි වූවාය. ඒ සියල්ල ලෝකයේ බොහොමයක් දෙනාගේ අවධානයට ලක් වූයේ සැනෙකිනි.
කළු කෙස් සහිත මේ කුඩා දැරියට වයස අවුරුදු දහයක්, එකොලහක් පමණය. ඇය පිළිබඳව කතාබහ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමට පටන් ගත්තේ ඇය පියාගේ හමුදා ආක්‍රමණ නරඹමින් සිටින ආකාරය දැක්වෙන ඡායාරූප මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමගය.
සාමාන්‍යයෙන් දියණියක සිය පියා සමග වන ඡායාරූපයක් පළ වීම කතාබහට ලක්විය යුත්තක් නොවේ. නමුත් ජු ඒ මෙම ඡායාරූපයේ සිය පියා සමග රැඳී සිටින්නේ සාමාන්‍යයෙන් දියණියක හා පියෙකු රැඳී සිටින ස්ථානයක නොවේ. එය කාර්‍යයාල කාමරයක් හෝ නිදන කාමරයක් ද නොවේ. කිම් ජොන් අන් සමග හමුදා නායකයන් රැසක් වටවී සිටින ස්ථානයක ඇය සිටින්නේ ඉතා කල්පනාකාරී බැල්මක් සමගය. තම පියා සැලසුම් කරන යුද ආක්‍රමණ දෙස ඇය බලා සිටින්නේ අනාගතයේ දිනක පියා යන අඩි පාරේ ගමන් කිරීමටද යන්න සිතේ.
කෙසේ වෙතත් කිම් ජු ඒ පිළිබඳව නිල වශයෙන් තහවුරු කළ තොරතුරු ඉතා සීමිතය. ඇයගේ පෙනුම අනුව නිගමනය කරනවා හැරෙන්නට අඩුම තරමේ ඇයට දැන් හරියටම වයස කීයක් වනවා ඇතිදැයි කියා හෝ කිසිවෙකුත් නොදනී. කිම් ජු ඒ පිළිබඳ පලමු වරට ජනතාවගේ කන වැකෙන්නේ ඇමෙරිකානු පැසිපන්දු ක්‍රීඩක ඩෙනිස් රොඩ්මන් විසින් කිම්ට ළදරු දියණියක් සිටින බව ප්‍රකාශ කිරීමෙනි. ඔහු ඇයව ‘ජු ඒ’ ලෙස හඳුන්වා තිබුණි. නමුත් ඇයගේ නම හෝ වයස ඒ වන විටත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොතිබුණි.
මාධ්‍යයෙන් සැඟව සිටි කිම් ජු ඒ එක්වරම ප්‍රසිද්ධියේ පෙනී සිටීම උතුරු කොරියාවේ නායකත්ව උරුමය පිළිබඳ ඇතිකර ඇත්තේ නව සංවාදයකි. උතුරු කොරියාවේ නායකත්වය ක්‍රියාත්මක වන්නේ පරම්පරාමය පදනමකිනි. කිම් පවුලේ පරම්පරාවක් ලෙස, ජු ඒගේ පෙනී සිටීම ඇය අනාගත නායකත්වයට සූදානම් කරන්නක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඇයගේ පියා, සීයා සහ සීයාගේ පියා සියලුදෙනාම උතුරු කොරියාවේ නායකත්වය උරුම කරගෙන ඇත්තේ සිය පරම්පරාවෙනි. ජු ඒ ද එම මඟ යනු ඇතැයි සිතිය හැකිය. එබැවින් ජු ඒගේ අනාගත නායකත්වය උතුරු කොරියාවේ දේශපාලන සංස්කෘතියට අමුතු දෙයක් නොවනු ඇත.
කිම් ජු ඒ පිළිබඳව වාර්තා වන අමුතු ආකාරයේ තොරතුරු රැසකි. ඇය කිසි දිනක පාසල් නොගිය නිවසේ සිට අධ්‍යාපනය ලැබූ දියණියක් බව වරක් දකුණු කොරියාවේ සියොල් ජාතික බුද්ධි අංශ සේවය පවසා තිබුණි. එහෙත් ඇය ක්‍රීඩා සඳහා දක්වන්නේ දැඩි ප්‍රියතාවයකි. ඒ අතරින් ඇය බෙහෙවින් ප්‍රිය කරනුයේ අසු පිට යාමට, පිහිනීමට සහ හිම මත ලිස්සා යාමටය.
2024 ජූලි මාසයේදී වාර්තා වුණේ කිම් ජු ඒ රහසිගත අනුප්‍රාප්තික පුහුණුවක් ලබමින් සිටින බවයි. එහිදී දකුණු කොරියානු බුද්ධි අංශ වාර්තා කළේ නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන දියණියට නායකත්වය උරුම කර ගැනීම සඳහා මෙම පුහුණුව ලබා දී ඇති බවයි.
නමුත්, ජු ඒ පිළිබඳව වාර්තා වන නිල තොරතුරු හිඟය නිසා ඇගේ භූමිකාව සහ අනාගතය ගැන නිශ්චිත යමක් කිව නොහැකිය. එහෙත් ඇය ප්‍රසිද්ධියේ සිය පියා සමග පෙනී සිටීමට පටන් ගැනීම උතුරු කොරියාවේ දේශපාලන උරුමය පිළිබඳව ලෝකයේ අවධානය දිනා ගන්නට සමත්ව ඇත.
සඳුනි තිලකරත්න