උත්සව සමයේ බීලා වාහනේ පැද්දොත් වෙන දේ

උත්සව සමයේ බීලා වාහනේ පැද්දොත් වෙන දේ

උත්සව සමයට අදාලව විශේෂ රථවාහන මෙහෙයුම් මේ වනවිටත් ආරම්භ වී ඇති අතර පසුගිය 20 වන දින සිට 24 වැනි දින දක්වා ගත වූ දින 04 තුළ පමණක් බීමත් රියදුරන් 631 අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බීමතින් රිය ධාවනය සඳහා රු.25000-රු.30000 අතර දඩ මුදලක් නියම වන අතර මාස 3ක් දක්වා සිර දඩුවම් සහ මාස 12ක් දක්වා රියදුරු බලපත්‍රය අත්හිටුවීම සිදුකරනු ලබන බව පොලීසිය පවසනවා.

බීමතින් රිය පැදවීම පිළිබඳව ශ්‍රී ලංකා පොලීසිය සිය ෆේස්බුක් ගිණුමේ මේ පිළිබඳව සටහනක් තබා තිබෙනවා. එම සටහන පහතින් දැක්වෙනවා.

බීලා Drive කරලා දැනදැනම අමාරුවේ වැටෙනවද?

මේ උත්සව කාලයේ රියදුරන් බහුලවම සිදුකරන වරදක් තමයි බීමත්ව රිය පැදවීම. මෙවැනි කාලවකවානුවක ඔබ සතුටු වීම, විනෝද වීම වරදක් නොවුණත් එය ඔබේත් අන් අයගේ ජීවිත වලට හානි සිදුකරයි නම් ඔබ ලබන විනෝදයෙන් ඵලක් වෙන්නෙ නැහැ.

2019 අංක 10 දරන මෝටර් වාහන (සංශෝධන) පනතතේ 216 වගන්තියට අනුව බීමතින් රිය ධාවනය සඳහා රු.25000-රු.30000 අතර දඩ මුදලක් නියම වන අතර මාස 3 ක් දක්වා සිර දඩුවම සහ මාස 12ක් දක්වා රියදුරු බලපත්‍රය අත් හිටවීම සිදුකරනු ලබයි.

216 (අ) වගන්තියට අනුව බීමත්ව මුදලකට හෝ දීමනාවකට මගීන් ප්‍රවාහනය කරයි නම් රු.25000-රු.30000 දඩ මුදලක් මෙන්ම මාස 6 ක් දක්වා සිර දඩුවම හෝ එම දෙකම සහ රියදුරු බලපත්‍රය අවලංගු කිරීම සිදු කළ හැකිය.

බීමත්ව රිය පදවා යම් පුද්ගලයකුගේ මරණය සිදු කිරීම සඳහා 216 (අ) යටතේ දඩය රු.100000-රු.150000 හෝ වසර 2 කට නොඅඩු සහ වසර 10 ට නොවැඩි කාලයක් සදහා බන්ධනාගාර ගත කිරීම හෝ එම දඩුවම් දෙකම හෝ රියදුරු බලපත්‍රය අවලංගු කිරීම යන දෙකටම යටත් විය යුතු වේ.

216 ආ( ඊ වගන්තියට අනුව බීමත්ව රිය පදවා සුලු තුවාල සිදු කිරීමේ වරදට දඩය රු.30000-රු.50000 වන අතර සිරඳඩුවම වසර එකකට නොවැඩි කාලයක් සදහා ද එම දඩුවම් දෙකම ද රියදුරු බලපත්‍රය අවලංගු කිරීම ද සිදු කරයි.

බීමත්ව රිය පදවා බරපතල තුවාල සිදු කිරීමට 216 ආ (ඊ ) රු.50000 -රු.100000 අතර දඩ මුදලකට යටත් වෙන අතර වසර 5 දක්වා සිර දඩුවමත් ඉහත දඩුවම් දෙකම හෝ ඊට අමතරව රියදුරු බපපත්‍රය අවලංගු කිරීමත් සිදු කරයි.

උත්සව සමයට අදාලව විශේෂ රථවාහන මෙහෙයුම් මේ වනවිටත් ආරම්භ වී ඇති අතර 2024.12.20 දින සිට 2024.12.24 දින දක්වා ගත වූ දින 04 තුල පමණක් බීමත් රියදුරන් 631 අත්අඩංගුවට ගෙන තිබේ.

ඒනිසා ඔබේ ජීවිතය අවධානමේ නොදා සතුටින් මේ නත්තල සමරන්න.

Share This