යට ඇඳුමේ සඟවාගෙන මැණික් පන්නන්න හැදු චීන ජාතිකයින් දෙදෙනෙකු මාට්ටු
ඉතා වටිනා මැණික් තොගයක් සිය ඇඳ සිටි යට ඇඳුම් අතර සඟවා ගෙන චීනය වෙත රැගෙන යාමට තැත් කළ චීන ජාතික පියෙකු සහ දියණියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, රේගු නිලධාරීන් පිරිසක් විසින් පසුගියදා (13) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී යි.
එම මැණික් තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි හැත්තෑ හතර ලක්ෂ පනස් දහස් අට සිය හැත්තෑ පහක් පමණ වන බව සඳහන්.
45 හැවිරිදි චීන ජාතික පියා ඔහුගේ 21 හැවිරිදි දියණියට මෙරට වාසය කිරීම සඳහා නේවාසික වීසා හිමි වී තිබෙනවා.
ඔවුන් ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල සැරිසරමින් ව්‍යාපාරික කටයුතු වල නිරත වී ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් දෙදෙනා පසුගියදා (13) රාත්‍රී 07.30ට පමණ චීනයේ චොන්ග්ක්වින්ග් ගුවන් සේවයේ ඕ.කිව්.- 2394 දරන ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔවුන්ගේ සිරුරු පරිලෝකන යන්ත්‍ර (Scan Test) මගින් පරීක්ෂා කිරීමේදී ඔවුන් සඟවා ගෙන තිබූ මැණික් තොගය අනාවරණය කර ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබෙනවා.
එලෙස සොයාගත් මැණික් අතර චන්ද්‍රකාන්ති, ගෝමේද, ආරනූල්, වෛරෝඩි සහ පච්ච යන වර්ගවලට අයත් ග්‍රෑම් 689.5ක් බර මැණික් තොගයක් තිබී ඇති බව සඳහන්.
පසුව මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය ඊයේ (14) පස්වරුව වන තෙක් පවත්වා ඇති අතර, එහිදී මෙම මැණික් තොගය රාජසන්තක කිරීමට රේගු නියෝජ්‍ය අධ්යක්ෂවරයා තීරණය කර තිබෙනවා.
ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් ගෙවන ලෙසට ද නියෝග කර ඇති බව සඳහන්.