ජීවිත 35,000ක් බිලිගත් සුනාමි ව්‍යසනයට විසි වසරක්

අහිමි වූවන් සිහිපත් කිරීමට විනාඩි 02ක නිශ්ශබ්දතාවක්

ජීවිත 35,000ක් බිලිගත් සුනාමි ව්‍යසනයට විසි වසරක්

ශ්‍රී ලංකාව, සුනාමි ව්‍යසනයට මුහුණ පා අදට (26) විසි වසරක් සම්පූර්ණ වනවා.

2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වනදා සුමාත්‍රාව ආසන්නයේ සිදුවූ භූ කම්පාව සමඟ ඇති වූ සුනාමි රළ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ළඟා වුණා.

ඉන් මෙරට මුහුදුබඩ දිස්ත්‍රික්ක 14ක් සුනාමි ආපදාවට ගොදුරු වූ බව සඳහන්.

එහි දී 35,000කට ආසන්න පිරිසක් මියගිය අතර තවත් 5,000ක පිරිසක් අතුරුදන් වු බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 34ක පවුල් 235,145ක පුද්ගලයින් 5,002,456 දෙනෙකු සුනාමි ව්‍යසනය හේතුවෙන් බලපෑමට ලක් වුණා.

ඉන් මෙරටට සිදුවු සමාජ, ආර්ථික, සංස්කෘතික සහ පාරිසරික හානිය අතිවිශාලයි.

මේ අතර සුනාමි ව්‍යසනයෙන් සහ විවිධ ආපදාවලින් මියගිය පුද්ගලයින් සිහිපත් කිරීම සඳහා ජාතික සුරක්ෂිත දිනය දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් අද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව ජාතික සුරක්ෂිතතා දිනයේ ප්‍රධාන සැමරුම් උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ඒ, ආරක්ෂක අමාත්‍යංශයේ ආපදා කළමණාකරණ අංශ පරිශ්‍රයේදී යි.

2005 වසරේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

එහි දී සුනාමි ව්‍යසනයෙන් සහ විවිධ ආපදාවලින් මියගිය සියලු දෙනා සිහිපත් කර විනාඩි 02ක නිශ්ශබ්දතාවයක් රැකීම සිදු කරනු ඇති.

අද දිනයේ දී ද පෙරවරු 09.25 සිට පෙරවරු 09.27 දක්වා විනාඩි 02ක නිශ්ශබ්දතාවක් සුරකින ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

 

Share This