ටික්ටොක් තහනම් කළ හැකි නීතිය පමාකරන ලෙස ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

ටික්ටොක් තහනම් කළ හැකි නීතිය පමාකරන ලෙස ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

අමෙරිකාවේ ටික්ටොක් සමාජ මාධ්‍ය තහහනම් කරන නීතිය ක්‍රියාත්මක කිරීම පමා කරන මෙන් තේරී පත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

තමන් බලයට පත්වීමෙන් පසු මෙම ගැටලුවට “දේශපාලන විසඳුමක්” ලබා ගැනීමට කාලය තිබිය යුතු බවටයි ඔහු තර්ක කරන්නේ.

ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදුමක් වන TikTok තහනම් කිරීම හෝ එය අමෙරිකාවට විකිණීම බලහත්කාරයෙන් සිදු කරන නීතියක් ක්‍රියාත්මක කිරීමට අදාල නඩුව ජනවාරි 10 වන දින අධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.

ඒ අනුව අනුව TikTok හි චීන හිමිකරු වන ByteDance සමාගමට එම සමාජ මාධ්‍ය වේදිකාව ඇමරිකානු සමාගමකට විකිණීමට හෝ තහනමකට මුහුණ දීමට සිදුවනු ඇති.

ජනවාරි 19 වන දිනට පෙර ByteDance ටික්ටොක් යෙදුම විකුණන්නේ නැත්නම් එය තහනම් කිරීමට එක්සත් ජනපද කොංග්‍රසය පසුගිය අප්‍රේල් මාසයේදී ඡන්දය ප්‍රකාශ කළා.

අමෙරිකානු පරිශීලකයින් මිලියන 170 කට අධික සංඛ්‍යාවක් සිටින TikTok  සහ එහි මව් සමාගම එම නීතිය අහෝසි කිරීමට උත්සාහ කළ නමුත් අධිකරණය ඔවුන්ට පක්ෂව තීන්දුවක් ලබා දුන්නේ නැහැ.

ඒ අනුව ලබන 10 වනදා නඩුව කැඳවා ලබා දෙන තීන්දුව ට්‍රම්ප් බලයට පත්වීමට දිනකට පෙර, එනම් ජනවාරි 19 වන දින අමෙරිකා එක්සත් ජනපදයේ ටික්ටොක් යෙදුම ඵලදායී ලෙස තහනම් කළ හැකි පසුබිමක් නිර්මාණය කර ඇති බවයි විචාරකයන් පවසන්නේ.

කෙසේ වෙතත්, ටික්ටොක් සමාජ මාධ්‍යයේ චීන හිමිකාරිත්වය නිසා 2020 වාරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් එය ප්‍රතික්ෂේප කරනු දක්නට ලැබුණා.

Share This