කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ, ඉල්ලා අස්වීම නිවේදනය කරයි
සිය ඉල්ලා අස්වීම පිළිබඳව නිවේදනය කරමින් කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ඊයේ (06) ප්‍රකාශ කර තිබුණේ, වසර නවයක බලය අවසන් කරමින් තමා ඉදිරි මාස කිහිපය තුළ ඉල්ලා අස්වන බවයි.
ඒ, පූර්ව මැතිවරණ ඡන්ද විමසීම්වලට අනුව ඔහුගේ ලිබරල් පක්ෂයේ තීරණයන්ට සහ තැතිගත් නීති සම්පාදකයින්ගේ පීඩනයට හිස නමමින් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.
එමෙන්ම තමන් රැඳී සිටින්නේ පක්ෂය මාස කිහිපයක් ඇතුළත නව ප්‍රධානියෙකු තෝරා ගන්නා තෙක් පමණක් බවත් ටෘඩෝ එහිදී අවධාරණය කර තිබුණා.
ඒ අනුව ඉදිරි මාස කිහිපය ඇතුළත ජස්ටින් ටෘඩෝ අගමැති සහ ලිබරල් නායකයා යන තනතුරු ද්විත්වයෙන් ම ඉල්ලා අස්වනු ඇති.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පෙන්වා දී තිබුණේ ඊළඟ මැතිවරණයේදී රටට සැබෑ තේරීමක් තිබිය යුතු අතර එම මැතිවරණයේදී තමන්ට හොඳම විකල්පය විය නොහැකි බවට පැහැදිලිව ඇති බවයි.
”මම සටනකින් පසුබසින කෙනෙක් නොවෙමි. විශේෂයෙන් සටනක් මේ තරම් වැදගත් වන විට.
නමුත් හැම විටම මාව මෙහෙයවන්නේ, කැනඩාව කෙරෙහි ඇති මගේ ආදරය විසින්.
ඊළඟ මැතිවරණයට ‘ලිබරල් ප්‍රමිතිය ගෙන යා හැකි තැනැත්තා’ බවට මට පත්විය නොහැකි බව අභ්‍යන්තර සටන්වලින් පැහැදිලි වී අවසන්…”
එමෙන්ම මාර්තු 24 දක්වා පාර්ලිමේන්තුව කල් තබන බවත් ඔහු එහිදී සඳහන් කර තිබුණා.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ, මැයි මාසයට පෙර මැතිවරණයක් පැවැත්වීමට ඉඩක් නොමැති බව ඉන් අදහස් වන බවයි.
ඒ අනුව එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි 16 වන දින බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කෙරෙන තීරුබදු අඩාල කිරීමේ තර්ජනයට, ටෘඩෝ හට මුහුණ පෑමට සිදුවනු ඇති.
විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව මීළඟ කැනේඩියානු මැතිවරණය ඔක්තෝබර් 20 වන විට පැවැත්විය යුතුය. කෙසේ නමුත් පූර්ව මත විමසුම්වලින් පෙන්නුම් කරන්නේ නිවාස හිඟය, ඉහළ යන භාණ්ඩ මිල ගණන් යන ගැටළු සම්බන්ධයෙන් ඡන්දදායකයින් කෝපයට පත් වී ඇති බවකි.
පවතින වාතාවරණය හමුවේ, ගෙවුණු සති කිහිපය තුළ ලිබරල් නීති සම්පාදකයින් ටෘඩෝගෙන් ඉල්ලා අස්වන ලෙස විවෘතව ඉල්ලීමක් කර තිබුණා.
ඒ, මුදල් ඇමති සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි.
එහිදී ඡන්දදායකයින් නැවත දිනා ගැනීමට භාවිත කළ යුතු “දේශපාලන උපක්‍රම” සම්බන්ධයෙන් ද ටෘඩෝ හට චෝදනා එල්ල වූ බව සඳහන්.
53 හැවිරිදි ටෘඩෝ, 2015 නොවැම්බර් මාසයේදී බලයට පත් වූයේ බලාපොරොත්තුවේ පණිවිඩයක් සමඟයි.
ඒ අනුව ඔහු කැනඩාවේ දීර්ඝතම කාලයක් රැඳී සිටි අගමැතිවරයෙකු බවට පත්වූ අතර ඔහුගේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතා ප්‍රතිපත්ති, ප්රගතිශීලීන්ගේ පැසසුමට ද ලක්වූවා.
නමුත් ඔහුගේ ජනප්‍රියත්වය ක්‍රමයෙන් පහව ගියේ, කොවිඩ් කාලපරිච්ඡේදය තුළ සිල්ලර බඩු සහ නිවාසවල මිල ඉහළ යාම වැනි අර්බුදයන් සමඟයි.