අපායේ හිමබෝලයක් වැනි අවස්ථාවක් ගැන කියන ටෲඩෝ

අපායේ හිමබෝලයක් වැනි අවස්ථාවක් ගැන කියන ටෲඩෝ

කැනඩාව අමෙරිකා එක්සත් ජනපදයට එක්වීම හුදෙක් “නිරයේ හිමබෝලයක් වැනි අවස්ථාවක්” බව ධූරයෙන් ඉල්ලා අස් වූ කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ පවසනවා.

ඒ කැනඩාව අමෙරිකාවේ 51 වන ප්‍රාන්තය බවට පත්වීම සුදුසු යැයි නව අමෙරිකානු ජනපති, ඩොනලඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන්.

අමෙරිකාවේ “ආර්ථික බලය” භාවිතකරමින් කැනඩාව එක්සත් ජනපදයේ 51 වන රාජ්‍යය බවට පත් කිරීම පිළිබඳව නැවත නැවතත් බලපෑම් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළා.

ෆ්ලොරිඩා මාර්-ආ ලාගෝ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ රටවල් දෙක වෙන්කරමින් කෘතිමව ඇඳ ඇති රේඛාවෙන් කනඩාව ඉවත්වීම යහපත් වනු ඇති බවයි.

විශේෂයෙන්ම එය කැනඩාවේ ජාතික ආරක්ෂාවටද වඩා යහපත් බවයි ඔහු අවධාරණය කළේ.

කැනේඩියානු භාණ්ඩ සඳහා සැලකිය යුතු මට්ටමින් තීරුබදු පැනවීමට කටයුතු කරන බවටත් ට්‍රම්ප් නැවත වරක් සඳහන් කර තිබුණා.

කැනඩාවට දේශපාලනික වශයෙන් අභියෝගාත්මක කාලයක මෙම තීරුබදු තර්ජනය පැමිණ ඇති අතර, පාලක ලිබරල් පක්ෂය නව නායකයෙකු තෝරා පත් කර ගන්නා තෙක් තමා අගමැති ධුරයේ රැඳී සිටින බව ඉලා අස් වූ ටෲඩෝ පවසා තිබෙනවා.

නායකත්ව තරඟය වෙනුවෙන් කාලය ලබා දීම සඳහා කැනඩාවේ පාර්ලිමේන්තුව මාර්තු 24 වන දින තෙක් කල් දමා ඇති බවත් සඳහන්.

Share This