ජනපතිගේ චීන සංචාරයේ තෙවැනි දිනය අද

ජනපතිගේ චීන සංචාරයේ තෙවැනි දිනය අද

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙවැනි දිනය ආරම්භ කරමින් අද (16) පෙරවරුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජන සැසියකට සහභාගි වීමට නියමිතයි.

රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධානය කරන මෙම “ආයෝජන සැසිය” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම විශේෂත්වයක්.

ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනතාවගේ වීරයන්ගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද නියමිත අතර
ඔහු අද පස්වරුවේ චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං හා චීන ජාතික කොංග්‍රසයේ සභාපති චාඕ ලජී යන මහත්වරු හමුවී සාකච්ඡා පැවැත්වීමටද සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

තවද, ජනාධිපතිවරයාගේ රාජ්‍ය සංචාරයට අදාළ ද්වීපාර්ශවිය ඒකාබද්ධ ප්‍රකාශය මෙරට වේලාවෙන් අද(16) පස්වරුවේ නිකුත් කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

එහි මාධ්‍ය ප්‍රකාශක නිලූක කඳුරුගමුව මහතා සඳහන් කළේ, රාජ්‍ය නායකයින් සාකච්ඡාවට ලක් කළ කරුණු සහ දෙරට අතර ආර්ථික, සමාජයිය හා කර්මාන්ත යන ක්ෂේත්‍රවලට අදාළව අත්සන් කළ අවබෝධතා ගිවිසුම් පිළිබඳ තොරතුරු එම ඒකාබද්ධ ප්‍රකාශය තුළ අන්තර්ගත වන බවයි.

Share This