නව වසරක උදාව සනිටුහන් කරන තෛපොංගල් දිනය අදයි
ලෝකවාසී හින්දු භක්තිකයින් මහත් බැතිසරින් සමරන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබෙනවා.
සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් සුර්ය දෙවියන් වන්දනාමාන කිරීම මෙම තෛපොංගල් උත්සවයේදී සිදුකෙරෙනු ඇති.
එය ශ්රී ලාංකේය දමිළ ජනතාවද මහත් හරසරින් සමරන්නේ නව වසරේ සිය පළමු අස්වැන්නේ කොටසක් සූර්ය දෙවිදුන්ට පූජා කරමින්.
සශ්රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව නව ආරම්භයක් පිළිබඳව ද අපේක්ෂා පෙරදැරි කරගත් සැමරුමක්.
තෛ මාසයේ කෙනෙකු උපදී නම් එය ඔහුගේ හෝ ඇයගේ යහපතට හේතු වන්නේය යන්න හින්දු භක්තිකයන්ගේ මතයයි.
හින්දු භක්තිකයන්ගේ අවුරුද්දේ පළමුවැනි මාසය තෛ මාසය වනවා.
ඉංග්රීසි මාස ක්රමයට අනුව එය ජනවාරි මාසයයි.
සූර්යයා ධනු රාශියේ සිට මකර රාශියට ගමන කිරීම ආරම්භ කිරිම තෛ මාසයේ ආරම්භය ලෙස අපට හැඳින්විය හැකි අතර එය උදා වන්නේ ජනවාරි 13 හෝ 14 යන දින දෙකෙන් එකක බව සඳහන්.
ඒ අනුව එම දින තෛපොංගල් දිනය ලෙස හඳුන්වනු ලබනවා.
විශේෂ උත්සව රාශියක් සමරන හින්දු භක්තිකයන්ගේ ප්රධාන උත්සවයක් ලෙස අපට තෛපොංගල් උත්සවය පෙන්වාදිය හැකි යි.
”අස්වැන්න නෙළීමේ උත්සවය”යන අරුත තෛපොංගල් උත්සවය නම් වන අතර වර්ෂාපතනය හා ඍතු විපර්යාසය ගොවිතැනේ සාරවත් බවට බෙහෙවින් බලපානු ඇති.
සාර්ථක අස්වැන්නක් සඳහා සූර්යයාගේ බලපෑම කිසිවිටකත් අමතක කිරීමට නොහැකියි.
ඒ අනුව දමිළ ජනයා සිය කෘෂි කටයුතු සදහා මහෝපකාරී වූ සූර්යයාට කෘතගුණ සැලකීම සඳහා මෙම උත්සවය සමරනු ලබනවා.
තෛපොංගල් ගොවිතැන හා බැඳුණු සංස්කෘතික සශ්රීකත්වය සමරන ආකාරයටත් එවැනි සංස්කෘතීන්හි ජනයා සොබාදහම හා බැඳී ඇති ආකාරයටත් හොඳ නිදසුනක්.