අනුරාධපුර දිස්ත්‍රික්කයේ ටීනියා රෝගය ව්‍යාප්ත වෙයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ටීනියා රෝගය ව්‍යාප්ත වෙයි

වසර හතරකට පමණ සිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ටීනියා රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිනී හේමා වීරකෝන් මහත්මිය පවසනවා.

අදාළ රෝගය දිලීරයක් හේතුවෙන් ආසාදනය වන බවයි, ඇය ප්‍රකාශ කළේ. එය පාලනය කිරීම සඳහා දිලීර නාශක පමණක් ආලේප කළ යුතු බව ද ඇය කියාසිටියා.

“වසර හතරක පමණ සිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ටීනියා රෝගය පැතිරෙනවා.  ටීනියා රෝගය කියන්නේ දිලීරයක් නිසා හට ගන්න රෝගයක්. මේකට ආලේප කළ  යුත්තේ දිලීර නාශක පමණයි කියලත් වෛද්‍යවරුන් දන්නවා. එහෙත් රෝගීන්ට මේ දිලීර නාශක පමණක් ද ලැබෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ හේතුව නිසා රෝගීන් ගොඩාක්ම කරදරයට පත්වෙලා තියෙන බව මේ වන විට මා හට පෙනී ගිහිල්ලා තියෙනවා. 

මේ රෝගීන්ට අතේ තියෙන මුදල බොහෝ විට ප්‍රතිකාර ගන්න මදි. ඒ තරමට බොහෝ අයගේ ටීනියා පැල්ලම් වැඩිවෙලා තියෙනවා. මෙලෙස ටීනියා වැඩි වෙලා තියෙන්නේ බොහෝ විට සමහර අයට නම් සිදුකරන ප්‍රතිකාර හින්දම කියලා මට හිතෙනවා.

මේ ටීනියා රෝගයට දැන් තිත තියන්න කාලේ හරි අඩුගානේ අවම කරන්නවත් කාලය හරි. ඒ සඳහා අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවීම අත්‍යවශ්‍ය කාරණයක්. මේ සඳහා සියලු දෙනාටම එකම ආකාරයෙන් ප්‍රතිකාර ලබාදීමට අලුත් උපදේශයක් අත්‍යවශ්‍ය කාලයක් මේ.

මේ පිළිබඳ කාරුණික අවධානය අදාළ බලධාරීන්ගේ යොමුවීමක් මගින් රෝගීන් විඳින පීඩාව නවත්වන්න පුළුවන්.

මේ ගැන මම මට හැකි උපරිමයෙන් කතා කතාකරා. එහෙත් තවමත් රෝගීන්ට නිවැරදි ඖෂධ ලැබෙන බවක් පේන්නේ නෑ. රෝගීන් හිතුමතේ පාමසි වලින් බෙහෙත්  ගන්න අවස්ථාත් තියෙනවා. තවමත් ෆාමසිවලින් දිළිරනාශක නෙවන ඖෂධ රෝගීන්ට ලබා දෙනවා.

අදාළ බලධාරීන්ගේ කාරුණික අවධානය යොමු වී මෙම ගැටලුවෙන් රෝගීන් මුදා ගැනීම අත්‍යවශ්‍යයි. සමහර ගම්වල බොහෝ රෝගීන් මුදල් නොමැතිවීම හේතුවෙන් ප්‍රතිකාර රහිතව ඉන්නවා. ඒවාගේම බෙහෙත් ලබාදීමේදී කියන ප්‍රමාණයට බෙහෙත් ගැනීමටත් රෝගීන්ට මුදල් නෑ.. ඒ නිසා ටීනියා දිලීරය අවම කරන්න අදාල බලධාරීන්ගේ සහාය ලබා දියයුතු කාලය පැමිණ තිබෙනවා.”

Share This