TikTok තහනමට දින තුනක් තිබියදී, පරිශීලකයින් විකල්ප සෙවීමේ මෙහෙයුමක !

TikTok තහනමට දින තුනක් තිබියදී, පරිශීලකයින් විකල්ප සෙවීමේ මෙහෙයුමක !

ලෝක ප්‍රකට සමාජ මාධ්‍ය යෙදුමක් වන TikTok හි මෙහෙයුම් කටයුතු අමෙරිකාව තුළ තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබන 19 වනදා නියෝගයක් නිකුත් කරනු ඇති බවට වන වාර්තාවත් සමඟ, බොහෝ පරිශීලකයින් දැනටමත් යෙදුමට සමු දෙමින් විකල්ප සොයමින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

The Information හි වාර්තාවකට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයට එල්ල වන අභියෝගය ජය නොගන්නේ නම් හෝ අමෙරිකානු හිමිකරුවෙකු සොයා නොගන්නේ නම් ඉරිදා වන විට TikTok එක්සත් ජනපද පරිශීලකයින් සඳහා සම්පූර්ණයෙන්ම වසා දැමෙනු ඇති.

ඒ අනුව මේ වන විට “TikTok සරණාගතයින්” ලෙස හඳුන්වන පරිශීලකයින් වෙනත් විකල්ප කරා යොමුවෙමින් සිටියි.

ප්‍රකට සමාජ මාධ්‍ය බලපෑම්කරුවෙක් වන ජැස්මින් චිස්වෙල් පසුගිය දා වීඩියෝවක් පළ කරමින් සඳහන් කර තිබුණේ, ටික්ටොක් තහනම් කරන නිසා තමන් මිලියන 18 ක හොඳම මිතුරන්ට සමුදෙන බවයි.

කෙසේ නමුත් දැනටමත් TikTok අනුකරණ යෙදුම්වල හිඟයක් නොමැත.

ඒ අතර Instagram Reels, YouTube Shorts, Snapchat Spotlight හෝ X පෙන්වාදිය හැකි නමුත් ඒවා පැහැදිලි TikTok ප්‍රතිවාදීන් නොවේ.

ඒ වෙනුවට RedNote (Xiaohongshu ලෙසද හැඳින්වේ) Lemon8, Clapper, Flip සහ Fanbase ඇතුළු නව යෙදුම් රාශියකට මෙම සතිය මුල ඉහළ ආකර්ෂණයක් හිමිව ඇති අන්දම දක්නට ලැබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස මේ සතියේ ඇපල් සහ ගූගල් යෙදුම් හි ඉහළින්ම සිටින්නේ සංචාරක, වේශ නිරූපණ සහ විලාසිතා පිළිබඳ ඉඟි බෙදා ගැනීම සඳහා ජනප්‍රිය Instagram වැනි චීනය පදනම් කරගත් යෙදුමක් වන RedNote වේ.

ඒ හා සම්බන්ධ වෙමින් බොහෝ අමෙරිකානු පරිශීලකයින් පෙන්වා දී තිබුණේ, චීනය පදනම් කරගත් මව් සමාගමට අදාළ ජාතික ආරක්ෂක ගැටළු හේතුවෙන් TikTok තහනම් කළ එක්සත් ජනපද රජයට වෛර කරමින් ඔවුන් ඊට සම්බන්ධ වූ බවයි.

මීට අමතරව TikTok මව් සමාගම වන ByteDance හි Pinterest වැනි යෙදුමක් වන Lemon8 ද මෙම සතියේ නව ජනප්‍රියත්වයක් ලබා ඇති සෙයකි. එම යෙදුම ප්‍රථම වරට අමෙරිකානුවන් අතර ජනප්‍රිය වූයේ 2023 මුල් භාගයේදී යි.

කෙසේ නමුත් බොහෝමයක් පරිශීලිකයින් චෝදනා නඟන්නේ කෙටි ආකෘති වීඩියෝ යෙදුමේ (TikTok) ජනප්‍රිය විශේෂාංග අනුකරණය කිරීමට ප්‍රධාන ධාරාවේ, විශාල තාක්ෂණික වේදිකා විසින් වසර ගණනාවක් තිස්සේ දැරූ උත්සාහයන් අසාර්ථක බවත් ඒ සඳහා වෙනත් ආදේශකයක් නොමැති බවත් ය.

Share This