අමෙරිකාවේ TikTok ගිණුම් මිලියන 170ක් අක්‍රීය වෙයි

අමෙරිකාවේ TikTok ගිණුම් මිලියන 170ක් අක්‍රීය වෙයි

ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය යෙදවුමක් වන TikTok යෙදවුම අමෙරිකාව තුළ ක්‍රියා විරහිත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද සිට අමෙරිකාවේ අක්‍රිය වන TikTok ගිණුම් සංඛ්‍යාව මිලියන 170ක්.

කෙසේ වෙතත් අද (19) දින සිට අමෙරිකාවේ ටික් ටොක් තහනම ක්‍රියාත්මක වීමට පෙර, Apple සහ Google යෙදවුම්වලින් TikTok ස්වයංක්‍රියව ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඒ අනුව පරිශීලකයින්ට TikTok යෙදවුමට පිවිසීමට උත්සහ කිරීමේදී ඊට ‘ප්‍රවේශ විය නොහැකි බවට’ කෙටි පණිවුඩයක් පෙන්නුම් කරනවා.

“කණගාටුයි, ඔබට දැන් TikTok වෙත ප්‍රවේශ විය නොහැක. එක්සත් ජනපදයේ TikTok තහනම් කිරීමේ නීතියක් පනවා ඇත. අවාසනාවකට මෙන්, එයින් අදහස් වන්නේ ඔබට දැනට TikTok භාවිත කළ නොහැකි බවයි.”

TikTok නැවත ස්ථාපිත කිරීම පිළිබඳ විසඳුමක් ලබාදීමට තේරී පත් වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාගම සමග කටයුතු කරන බවට සඳහන් කර ඇති බව TikTok සමාගම ප්‍රකාශ කළා.

එය යම් සහනයක් වනු ඇති බවයි එම සමාගම පෙන්වා දෙන්නේ.

ඒ අනුව ජනාධිපති ට්‍රම්ප් බලයට පත් වන තෙක් ඉවසීමෙන් රැදී සිටින ලෙසත්, එය බොහෝකල් අක්‍රීයව නොපවතිනු ඇති බවත් TikTok සමාගම සිය පරිශිලකයින්ට දැනුම් දී තිබෙනවා.

NBC පුවත් සේවය සමග දුරකථන සංවාදයකට එක් වෙමින් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, තමා බලයට පත් වීමෙන් අනතුරුව TikTok තහනමට දින 90ක් දක්වා සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

ඒ සම්බන්ධයෙන් වන නිශ්චිත තීරණය හෙට (20) දිනයේ නිවේදනය කරන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් එම සංවාදයේදී පවසා තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ TikTok තහනම අද (19) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් මෙම තහනම බලාත්මක කරන්නේ කෙසේද යන්න අවිනිශ්චිතව පවතින පසුබිමක ධවල මන්දිරය ප්‍රකාශ කළේ එය බලාත්මක කිරීම ට්‍රම්ප් පරිපාලනයට භාර දෙන බවයි.

Tik Tok හි චීන හිමිකරුට එහි කොටස් විකිණීමට හෝ එක්සත් ජනපද තහනමකට මුහුණ දෙන ලෙස ඉල්ලා කොංග්‍රසය විසින් සම්මත කරන ලද නීතිය, භාෂණ නිදහසේ අයිතිවාසිකම් කඩ නොකළ බවට අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් තීන්දු කර තිබෙනවා.

මෙම නීතිමය නාට්‍යය ආරම්භ වූයේ අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුවේ  ජාතික ආරක්‍ෂක උත්සුකයන් සහ TikTok අයත් චීනය සමඟ ඇති බැඳීම් පළුදු වීමත් සමගයි.

Tik Tok හි අමෙරිකානු පැවැත්ම පිළිබඳ අදහස් දක්වමින් නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ , සත්‍ය වශයෙන්ම Tik Tok හි අනාගතය තමන් වෙත පැවරී ඇති බවයි.

තමන් ඉදිරියේදී ඒ ගැන තීරණය කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.

Share This