නව ජනපතිට විරෝධය පා ජෝර්ජියාවේ දහස් ගණනක් මහ පාරේ
ජෝර්ජියානු විරෝධතාකරුවන් දහස් ගණනක් ටිබිලිසි අගනුවරට පා ගමනින් පැමිණ මිනිස් දාමයක් නිර්මාණය කරමින් විරෝධය දක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ එරට වැඩ භා ගැනීමට නියමිත නව ජනපතිට එරෙහිවයි.
පාලක Georgian Dream පක්ෂයේ සහචරයෙකු ලෙස සැලකෙන හිටපු මැන්චෙස්ටර් සිටි පාපන්දු ක්‍රීඩක මිඛෙයිල් කවෙලෂ්විලි නව ජනාධිපතිවරයා ලෙස පත්වූ අතර අද දිනයේදී ඔහුගේ දිවුරුම් දීම පැවැත්වීමට නියමිතයි.
නමුත් වත්මන් රාජ්‍ය නායකයා වන සලෝම් සූරාබිච්විලි, ඔහුගේ ජනපතිවරණය නීත්‍යානුකූල නොවන බව පවසමින් ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
වසර 12 ක් බලයේ සිටින Georgian Dream පක්ෂය පසුගිය ඔක්තෝම්බර් මාසයේදී පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කළ නමුත්, එම ජයග්‍රහණය වංචා චෝදනාවලින් පිරී ගිය එකක් ලෙස චෝදනා ලැබූ අතර එතැන් සිට පක්ෂයට එරෙහිව විරෝධතා පැවතුනා.
ජෝර්ජියාවේ ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් හතර ද නව ජනපති කවෙලාෂ්විලි ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තුව වර්ජනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ජෝර්ජියාවේ දේශපාලන විචාරකයන් පවසන්නේ මෙම ගැටුම විසඳන්නේ කෙසේද යන්න පැහැදිළි නැති බවයි .
මේ අතර Georgian Dream පක්ෂය මෑත වසරවලදී මාධ්‍ය සහ විදේශ අරමුදල් ලබන රාජ්‍ය නොවන කණ්ඩායම් සහ LGBTQ ප්‍රජාව ඉලක්ක කරගත් රුසියානු විලාසිතාවේ නීති සම්මත කරමින් වැඩි වැඩියෙන් ඒකාධිපති වී ඇති බවයි ජනතාව චෝදනා කරන්නේ.