කොළඹ අවට වාහනවල කැබි කඩා දේපළ කොල්ලකෑ තරුණයා මාට්ටු

කොළඹ අවට වාහනවල කැබි කඩා දේපළ කොල්ලකෑ තරුණයා මාට්ටු

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට නවතා තිබූ ත්‍රීරෝද රථයක් ඇතුළු වාහන රැසක කැබි හෝල් කඩා මුදල් හා දේපළ කොල්ලකෑ පුද්ගලයෙකු සොරා ගත් භාණ්ඩ ද සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නීති උපාධියට ඉගෙනුම ලැබූ නිකවැරැටිය රස්නායකපුර පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක්.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති වැඩසටහනක් සඳහා පැමිණි ගුරුවරයකුට අයත් ත්‍රී රෝද රථයක කැබිය කඩා එහි තිබූ මුදල් හා දේපොළ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අතරතුර දී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් තවත් විමර්ශනයක් ආරම්භ කර. තිබෙනවා. එහිදී ලද තොරතුරකට අනුව සිද්ධියට සම්බන්ධ සැකකරු බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පැවසේ.

පසුව සැකකරුගේ නිවස පරීක්‍ෂා කිරීමේදී එහි තිබී ත්‍රීරෝද රථ සහ යතුරුපැදිවල කැබි වලින් සොරා ගත් ජාතික හැඳුනුම්පත් දහයක්, වාහන වල රක්ෂණ හා ලියාපදිංචි සහතික විස්සක් සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. පසුව සැකකරුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී වත්තල ප්‍රදේශයේ නිවසකින් සොරා ගත් ත්‍රීරෝද රථයක්, වරාය නගරයෙන් හා වනාතවිල්ලුව ප්‍රදේශයෙන් සොයා ගත් යතුරුපැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව තවදුරටත් ප්‍රශ්න කිරීමේදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රථගාලේ නවතා තිබූ යතුරු පැදියක කැබියක් කඩා සොරාගත් ව්‍යාජ අංක තහඩු දෙකක් හා එම යතුරුපැදියේ ලිපි ලේඛන, කඩුවෙල නගරයේ නවතා තිබූ තීරෝද රථයකින් සොරා ගත් එම යතුරුපැදියේ ලිපි ලේඛන, ණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ නවතා තිබූ ත්‍රී රෝද රථයේ ලිපි ලේඛන සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය පවසනවා.

සැකකරු 2023 වසරේ රස්නායකපුර ප්‍රදේශයේ බැංකුවක ඇඨ්M යන්ත්‍රයක් කඩා රුපියල් 198,000 මුදලක් සොරා ගැනීමේ සිද්ධියක තොරතුරක්ද මෙහිදී අනාවරණය වූ බව පැවසේ.

සැකකරු මෙම භාණ්ඩ සොරාගෙන ඒවා අඩු මිලට උකස් කොට අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු නීති උපාධිය සඳහා අධ්‍යාපනය ලැබුවකු බවත් පසුව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම නිසා ඉන් ඉවත්ව මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු අලුත් කඩේ අංක එක අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This