වස්කඩුව වෙරළ ඛාදනයෙන් සංචාරක කර්මාන්තය අනතුරේ

වස්කඩුව වෙරළ ඛාදනයෙන් සංචාරක කර්මාන්තය අනතුරේ

කළුතර වස්කඩුව මුහුදු වෙරළ තීරය කිලෝමීටර ගණනාවක්ම දීර්ඝ කාලයක් මුළුල්ලේ ඉතා දරුණු ලෙස ඛාදනය වී යාමෙන් වස්කඩුව ප්‍රදේශයේ කොස්ගස් හන්දිය ප්‍රදේශයේ වෙරළ තීරය මුළුමනින්ම වැනසී ගොස් ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා.

වස්කඩුව ප්‍රදේශය යනු දිවයිනේ සුප්‍රසිද්ධ තරු හෝටල් රැසක් ඇති සංචාරක ව්‍යාපාරයට තදින්ම සබඳතා දක්වන, විදේශීය සංචාරකයන් වැඩිපුරම ගැවසෙන ප්‍රදේශයක්.

එහෙත් වසර කිහිපයක සිට, වෙරළ තීරයේ දක්නට ලැබෙන සෝදා පාළුව නිසා වස්කඩුව ප්‍රදේශයට පැමිණෙන විදේශීය සංචාරකයන්ට, විනෝදය හා සෞඛ්‍ය හේතුන් සඳහා ඇවිදගෙන යෑමට හෝ පරිසර අලංකාරය දැකබලා ගැනීමට නොහැකි වීම හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීමේ විශාල අඩුවක් දක්නට ඇතැයි මේ පිළිබඳ අදහස් දක්වන සංචාරක මඟ පෙන්වන්නන් පවසනවා.

වෙරළ තීරයේ තිබූ බොහෝ පොල් ගස්, මුහුදු ඛාදනය වීම නිසා ගැලවී වැටීමට ආසන්නව ඇති අතර වෙරළ තීරය සම්පූර්ණයෙන්ම මුහුදු රැල්ලට හසුවීමෙන් දියවී ගොස් ඇතිවීම හේතුවෙන් ධීවර බෝට්ටු ගණනාවක්ම වැටකෙයියා පඳුරු අස්සේ තිබෙනු දක්නට ලැබෙනවා.

මෙම තත්ත්වය නිසා වස්කඩුවේ ජීවත්වන ධීවර පවුල් සිය ගණනකටත්, සංචාරක ව්‍යාපාරයෙන් සඅජු හා වක්‍ර රැකියාලාභීන් සිය ගණනකගේ ආර්ථිකයට බලවත් පාඩුවක් සිදුවී ඇති බවත් ප්‍රදේශවාසීන් මැසිවිලි නගනවා.

පසුගිය කොරෝනා සමයේදී තමුන්ගේ දරු පවුල පමණක් ආරක්ෂා වූයේ වෙරළ තීරයේ ඇවිදීම හා මුහුදු වෙරළේ පහස ලැබීම නිසා බවත් දැන් එකී තත්ත්වය කෙසේවත් දක්නට නැති බවත් මෙම අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව පරිසර බලධාරීන් හා වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් මේ පිළිබඳව සොයා බලා කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙස වස්කඩුව ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා.

Share This