පන්සලෙන් පල්ලියට නෑගම් යන සංඝ රත්නය

පන්සලෙන් පල්ලියට නෑගම් යන සංඝ රත්නය

සාමයේ පණිවුඩය ලෝකයා හමුවේ ගෙන එමෙන් සියලු මානව වර්ගයා කෙරෙහිම දයානුකම්පාව හා සහජීවනය මුළු ලොවටම ඉගැන්වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කෙරෙන නත්තල් උදාව ඊයේ (24) මධ්‍යම රාත්‍රියේදී සිදුවුණා.

ඒ අනුව අද (25) මුළු ලොව පුරාම නත්තල් සැමරුම් සිදුවද්දී, මෙරට පානදුර බෞද්ධ පුරවරයේ සිට, බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් පානදුර වලානේ, භික්‍ෂෝප දේව මාතා දේවස්ථානය වෙත නෑගම් ගියේ පස් වෙනි වතාවටයි.

පානදුර ගලගොඩ පුරාණ විහාරස්ථානාධිපති පූජ්‍ය පොතුපිටියේ පඤ්ඤාසේකර නාහිමියන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලා පිරිසක් දායක සභාවද කැටිව පානදුර වලාන ප්‍රධාන කතෝලික පල්ලියක් වූ වික්ෂෝප දේව මාතා දේවස්ථානය වෙත වැඩම කර තිබුණා.

එම දේවස්ථානයේ ප්‍රධාන පිවිසුම් දොරටු වෙත පැමිණි උන්වහන්සේලාව, වික්ෂෝප දේව මාතා දේවස්ථානයේ ප්‍රධාන පාලක, රන්ජන් ප්‍රියදර්ශන පියතුමා, පානදුර යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ ප්‍රධාන කන්‍යා සොයුරිය ප්‍රමුඛ සහෝදරියන් සමඟ පියතුමන්ලා ඇතුළු කිතුණු සහ කතෝලික බැතිමතුන් විසින් ඉතා ගෞරවයෙන් පිළිගනු ලැබුවා.

සියලු ජාතීන් හා ආගම් අතර අන්‍යෝන්‍ය සහජීවනය සහ එකමුතුකම කියාපාන මෙම ක්‍රියාව ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයටම මහඟු ආදර්ශයක්.

මෙවැනි අන්තර් ආගමික කටයුතු තුළින් රටවල් තුළ ඇතිවන විවිධ මත ගැටුම්වලට බොහෝ දුරට විසඳුමක් ලැබෙන බැවින්, මෙම ආදර්ශමත් ක්‍රියාව අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය දෙපාර්ශවයම විසින්ම අවධාරණය කර තිබෙනවා.

ඉන් අනතුරුව එම දේවස්ථානයේ පියතුමන්ලා විසින් සංවිධානය කර තිබූ විශේෂ භෝජන සංග්‍රහයකට ද දෙපාර්ශවයම එක්වුණා.

පානදර මුස්ලිම් දේවස්ථානයේ ප්‍රධාන මවුලවිතුමාද මෙම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයක්.

එහිදී පානදුර වලාන වික්ශෝප දේවමාතා දේවස්ථානයේ ප්‍රධාන පූජක රන්ජන් ප්‍රියදර්ශන පියතුමා සහ පඤ්ඤාසේකර නාහිමියෝද මෙම කටයුත්තේ වැදගත්කම පිළිබඳ සිය අදහස් හුවමාරු කරගනු ලැබුවා.

මෙම සියලු කටයුතු වසර ගණනාවක් මුළුල්ලේ සම්බන්ධීකරණය කරන ලද්දේ එම දේවස්ථානයේ මීසමේ ප්‍රධාන සංවිධායක සනත් නානායක්කාර මහතා සහ පානදුර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් කාරියවසම් යන දෙපාර්ශ්වය විසින්.

ඡායාරූප👇🏻

Share This