නෙක්ස්ට් ඇඟළුම් කම්හල වැසූ සැබෑ හේතුව හෙළි වෙයි 

නෙක්ස්ට් ඇඟළුම් කම්හල වැසූ සැබෑ හේතුව හෙළි වෙයි 

කටුනායක නෙක්ස්ට් ඇඟළුම් කම්හල හිටි අඩියේ වසා දමනු ලැබීය. මෙරට කම්හල තිබුණත් එක්සත් රාජධානියේ මෙහෙයුම් කාර්යාලය පවතින මේ කම්හල වසා දැමීමට හේතු වූ කරුණු රැසක් ඇතැයි දැනගන්නට ලැබිණි. ඒ අතර වඩාත් හේතු වූයේ කොවිඩ් වසංගතය බව පැවැසේ.

1979 වසරේ දී ඇරඹුණු මෙම කම්හලට 2021 වසරේ මෙරට ආක්‍රමණය කළ කොවිඩ් වසංගතය තදින් දැණිනි. ඒ සමයේ ඉතා අපහසුවෙන් පවත්වාගෙන ගිය මේ කම්හලට ඉතිහාසයේ වැඩිම අපනයන කළ හැකි තරම් වාසනාවන්ත වසරක් වූයේ 2022 ය.

ඇමරිකානු ඩොලර් 5. 4 ක අපනයන ආදායමක් 2022 වසරේ ලැබු අතර එය ඉතිහාසගත විය. ඒ වනවිට රුපියල් 185 කට තිබු ඇමරිකානු ඩොලරය රුපියල් 360ක් පමණ දක්වා වැඩි වීම ද ඒ වසරේ සිදුවිය.මේ හේතුවෙන් උද්ධමනය ඉහළ ගිය අතර කම්හල් සේවකයන්ට වැටුප් වැඩි කර ඔවුන්ගේ ජීවන තත්ත්වය ස්ථාවර කර ගන්නට පාලනාධිකාරිය අවස්ථාව සැළසුවේය. ඩොලරයේ මිල ඉහළ යාමේ වාසිය  සේවකයන් වෙත ලැබුණේ එසේය.

එහෙත් 2024 වනවිට ඩොලරයේ මිල රුපියල් 300 ට ආසන්න පහළට පැමිණියේය. මේ නිසා සෑම ඩොලරයකින්ම රුපියල් පණහක හැටක පාඩුවක් කම්හලට සිදුවිය. ඒ අතර විදුලි බිල, වැඩිවීම, ඉන්ධන මිල වැඩිවීම වැනි කාරණා ද කම්හලේ පාඩුව වැඩි කරන්නට හේතුවිය.

එමෙන්ම කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සාමාන්‍යයෙන්  වැටුප් වැඩි කලාපයකි. එමෙන්ම කේවල් කිරීම් ද සිදුවීම නිසා වැටුප් ඉහළ තරමට පැමිණ තිබීම නිසා කම්හල පවත්වාගෙන යාමට නොහැකි තරම් වියදම වැඩි බව කළමණාකරණය කියා තිබේ.

මෙවන් වටපිටාවක් තුළ නෙක්ස්ට් ඇඟළුම් කම්හලේ උපදේශකවරයෙකු වශයෙන් සේවය කළ එමෙන්ම එම කම්හල ආරම්භයේ සිට එහි උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය චමින්ද පී කල්පගේ ගේ අදහසයි මේ.

“අපේ රටේ ඇඟළුම්වලට තියෙන්නේ අද්වීතිය තැනක්. මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන්නේ ආඩම්බරෙන්. නෙක්ස්ට් කියන්නේ එහි සේවක පිරිස ඉතාම හොඳින් බලාගත් කම්හලක්. එහි වැටුප වගේම අනෙක් සියලු පහසුකම් එංගලන්තයේ සේවකයෙකුට දෙන පහසුකම් හා සමානවම දුන් කම්හලක්. නමුත් කම්හලේ සේවක පිරිස ඔවුන්ගේ සේවය කිරීමේ ධාරිතාවය එන්න එන්නම අඩු කළා. සරලව කිව්වොත් කලින් අසූවකට වැඩ කළා නම් වර්තමානය වනවිට ඔවුන් වැඩ කලේ පණහට.

නමුත් ආරම්භයේදී රුපියල් 25000 ට තිබුණ පඩිය මේ වෙද්දී අසූදාහක් වෙලා. මේ කම්හල දුවන්න අවශ්‍ය ජවය සේවක පිරිසෙන් ලැබෙන්නේ නැහැ. මේ කම්හලවැසී යාම අලුත් ආණ්ඩුවට ලැබෙන පණිවිඩයක්.

මේකට ප්‍රධාන හේතුව සේවක සේවිකාවන් බරපතල විදියට ජංගම දුරකථනයට ඇබ්බැහි වීම. දුරකතන සඟවාගෙන ඇවිත් දවසෙම ඒකෙ ඉන්නවා. දුරකතනයට ප්‍රතිචාර දක්වන්න ගිහින් රාජකාරිය දෙවැනි තුන්වැනි තැනට දාගෙන. සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වෙලා ඒවට ප්‍රතිචාර දක්වලා ඒ කල්පනාවෙන් වැඩ කරන්නේ.

නෙක්ස්ට් කම්හලේ හිමිකාරිත්වය  එංගලන්තයේ වෙසෙන්නේ. එයාල අපි වගේ  සුක්ෂම ලෙස පරිපාලනය කළේ නැහැ. වැඩේ දන්න අපි මේක කළමණාකරණය කළා නම් මේ ටික වෙන්නේ නැහැ. අනික සේවකයන් මේ තරම් පහසුකම් සලසද්දිත් විප්ලවකාරි වෙන්න ගියා. ඉල්ලීම් ඉල්ලන්න ගියා වැඩ නවත්වලා. මේ වගේ ලෝක ප්‍රසිද්ධ ලේබලයක් වන අනභිභවනීය නිෂ්පාදනයේ නම විනාශ වෙන්න දෙන්න බැරි බව හිතලා හිමිකරුවන් ආනමඩුව පැත්තේ කම්හලක් ආරම්භ කළා. ඇත්තටම හිමිකරුවන්ට මේ කම්හල් දෙකම කරගෙන යන්න තිබුණා. නමුත් මේ ඇතුළෙ පවතින තත්ත්වයට හාම්පුතුන් කැමතිවුණේ නැහැ. වැඩේ ලස්සනට කරන්නේ නැහැ. අනික බරපතලම කතාව තමයි මේකෙ තීන්දු තීරණ ගන්න පිටස්තරයනුත් එන්න පටන් ගත්තා. මුල ඉඳලම හදාගත්තු ක්‍රමය හොඳ මදි. ඇත්තටම මේ කම්හල වහන එකෙන් හිමිකාරිත්වය පනිවිඩයක් දුන්නා.

සාමාන්‍යයෙන් එක සේවකයෙකුගෙන් හය දෙනෙක්වත් ජීවත් වෙනවා. මේක විශාල ජාලයක්. සාමාන්‍යයෙන් එක කම්හලකට විදේශිකයන් දාහක් විතර එනවා. සාමාන්‍යයෙන් විදේශ සංචාරකයෙක් එද්දි ඩොලර් දාහයි දෙදාහයි අරන් එන්නේ. එයාල ටුවර් එකට සල්ලි බැඳල එන්නේ. නමුත් මේ කම්හලට එන්නේ ඩොලර් විසිපන්දාහක් විතර අරන් එන අය. මම කතා කරන්නේ බයර්ලා ගැන. ඒ එන අය වෙනත් කර්මාන්ත  ගැනත් හොයනවා ආයෝජනවලට. නැත්නම් ව්‍යාපාරවලට. මේ කම්හල නිසා රටට ලැබුණ එම ලාභයත් නැතිවුණා.

මේ රටේ කර්මාන්ත දවසින් දවස ටිකෙන් ටික බොහොම භයානක තැනකට තල්ලු වෙලා යනවා.අපි ඉන්නේ මරණ මංචකයේ. ඉන්දියාව එංගලන්තයත් එක්ක ඒ වගේම ඇමරිකාවත් එක්ක තීරුබදු රහිත කලාප හදාගන්න ගිවිසුම් ගත වෙනවා. ඉස්සරහට වෙන්නේ අපට ඉන්දියාවට වැඩ කරන්න.

මම මේ ක්ෂේත්‍රයේ  අවුරුදු තිස්පහක්. මම හිතන්නේ නම් අපි කර්මාන්ත ශාලා  වැහෙන්න දෙන්න හොඳ නැහැ. මේ කර්මාන්ත ශාලාවලින් විශාල පිරිසක් යැපෙනවා. ඍජු රැකියාවලට වඩා තවත් වක්‍ර රැකියා දස දහස් ගණනක් කම්හලක් වටා නිර්මාණය වෙනවා. අපේ නිෂ්පාදන ගැන අපට ආඩම්බරෙන් කියන්න පුළුවන් මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා. අපි ඒ තත්ත්වය රැකගන්න ඕන. මේ වෙනුවෙන් අපි ආණ්ඩුවට සහය දෙන්න සූදානම්. ඒ වෙනුවෙන් උපදේශනය දෙන්න සුදානම්. අපට ඕන මේ කර්මාන්ත රැකගන්න.”

 

විනීතා එම් ගමගේ

Share This