ජනපති ජනතාවට ලබා දුන් සහතිකය

ජනතාව රජයට ගෙවනු ලබන බදු මුදලින් රුපියලක්වත් දේශපාලන අධිකාරිය විසින් වංචා නොකරන සහ නාස්ති නොකරන බවට වන සහතිකය තමා රටට ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
එමෙන්ම, යම් දේශපාලනඥයකු හෝ රාජ්‍ය නිලධාරියකු එවන් ක්‍රියාවක නිරත වුවහොත් තරාතිරම නොබලා උපරිම දඬුවම් ලබා දීමට මැදිහත් වන බව පැවසූ ජනාධිපතිවරයා ජනතාව ගෙවන බදු මුදලට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන්, ඊට එරෙහිව ක්‍රියාත්මක වූ කළු යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කරන බවද කියා සිටියේය.
ජනාධිපති අනුර කුමාර දසානායක මහතා මේ බව සඳහන් කළේ අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති “බදු ශක්ති” බදු අනුකූලතාවය සහ බදු පදනම ඉහළ නැංවීමේ ජාතික වැඩසටහනෙහි සමාරම්භක අවස්ථාව අමතමිනි.
“ඔබේ බදු මුදල් ඔබ වෙනුවෙන්”තේමාව යටතේ “බදු ශක්ති – ජාතික බදු සතිය” ආරම්භ කිරීමද මිට සමගාමීව සිදු විය.
වත්මන් රජය විසින් භාර ගනු ලැබුවේ නතර වූ රටක් බවත්, එම රට යළි පණ ගැන්වීම උදෙසා බදු යාන්ත්‍රණය විධිමත් කළ යුතුව ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එමෙන්ම රටක් ලෙස අපි පරිවාසයට ලක් වී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹ ඇති විස්තීර්ණ ණය ගිවිසුම මෙරට ඒ ආකාරයේ අවසන් වැඩසටහන බවට පත් කර ගනිමින් ස්වෛරී ආර්ථිකයක් ගොඩනැගීමට එක් වන ලෙසද සියලු ජනතාවට ආරාධනා කළේය.
ජනතාව තුළ බදු ගෙවීමට ඇති අසුබවාදී ආකල්පය සුබවාදී ආකල්පයක් බවට පරිවර්තනය කිරීමත්, විනිවිදභාවය සහ වගවීමෙන් යුතු නව බදු සංස්කෘතියක් ඇති කිරීමත් අරමුණු කර ගනිමින් බදු ශක්ති ජාතික බදු සතිය ක්‍රියාත්මක කෙරේ. අද (02) සිට එළැඹෙන 07 වන දා දක්වා වූ සතිය තුළ හඳුන්වාදෙන නව බදු ගෙවීමේ වේදිකා සම්බන්ධයෙන් සහ බදු මුදල් රටේ සංවර්ධනයට දායක වන අන්දම මෙන්ම ජනතාවට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
2024 තක්සේරු වර්ෂයේ පුද්ගල ආදායම් බදු වාර්තාව භාර දීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාර්ගගත වේදිකාව විවෘත කිරීමද මෙහිදී සිදු වූ අතර 2024/25 තක්සේරු වර්ෂයේ ලබා දෙන පළමු බදු වාර්තාව ලෙස ජනාධිපතිවරයා විසින් සිය පුද්ගලික ආදායම් බදු වාර්තාව අන්තර්ජාලය වෙත එක් කිරීම සිදු විය.