පක්ෂ ලේකම්වරිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම දේශපාලන හොරකමක්

පක්ෂ ලේකම්වරිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම දේශපාලන හොරකමක්

මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා පුද්ගලයින් නම් කිරීම පක්ෂ ලේකම්වරිය විසින් සිදු කිරීම දේශපාලන හොරකමක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ නායකයන් විසින් වන අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරියට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්පූර්ණ කිරීමට කිසිදු බලයක් පවරා නොමැති බව ඔහු සඳහන් කළා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා මහතාගේ නම පක්ෂ ලේකම්වරිය විසින් ඊයේ (10) මැතිවරණ කොමිසමට යැවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් වජිර අබේවර්ධන මහතා විවේදනය්ක් නිකුත් කරමින් මේ බව පැවසුවා.

සම්පූර්ණ නිවේදනය පහතින්.

ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට තරඟ කිරීමට තීරණය කළ අවස්ථාවේදී හවුල්කාර පක්ෂ නායකයින් සාකච්ඡා කර පොදු එකඟතාවලට එළැඹියේය.

ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් වූ පක්ෂය සමග ගිවිසුම්ගත වීමට තීරණය කෙරිණි.

එම පෙරමුණේ ලේකම්වරිය ලෙස ෂර්මිලා පෙරේරා මහත්මියට අදාල එකඟතා ඇතුළත් ගිවිසුම් බාර දෙන ලදී.

අද වන තෙක් ගිවිසුම්වල පිටපත් හවුල්කාර පක්ෂ කිසිවකට ලබාදී නැත. ගිවිසුම ඉදිරිපත් කිරීමද මෙතෙක් කටයුතුකර නැත.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ නායකයන් විසින්ය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරියට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්පූර්ණ කිරීමට කිසිදු බලයක් පවරා නැත.

එම තීරණය උල්ලංඝනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම විශ්වාසය සම්පූර්ණයෙන් කඩ කිරීමකි. දේශපාලන හොරකමකි.

රවී කරුණානායක මහතාගේ පත්කිරීම සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම සඳහා මේ වන විටත් කමිටුවක් පත්කර තිබේ. කමිටු වාර්තාව ලැබුණු පසු නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂිතය.

ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීම සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂ සමග සාකච්ඡා කර නිසි ක්‍රියාමාර්ග ගැනීමටද නියමිතය.

Share This