මගීන් මහමග බස්වා ගිය බස් රථයේ බලපත්‍ර අහෝසියි

මගීන් මහමග බස්වා ගිය බස් රථයේ බලපත්‍ර අහෝසියි

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොලීසිය සිදු කරන බස්රථ පරීක්ෂාවකදී එහි රියැදුරු විසින් සිදුකළ වැරදි තුනක් සම්බන්ධයෙන් පොලීසිය ලබාදුන් දඩ කොළයකට විරෝධය පළ කරමින් මගීන් මහමග බස්සවා මාර්ග බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් හරවා ගිය බස්රථයේ මාර්ග බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අවලංගු කිරීමට පියවර ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කොමදෝරු ගාමිණී ජාසිංහ මහතා පවසනවා.

ඊට අමතරව බස්රථයේ කොන්දොස්තරවරයාගේ කොන්දොස්තර බලපත්‍රය ද අවලංගු කර ඇති අතර ඔවුන් දෙදෙනාගේ සේවය ද අත්හිට වූ බව සභාපතිවරයා සඳහන් කළා.

මෙම සිදුවීම ඊයේ (06) පානදුර හොරේතුඩුව පාලම අසල දී සිදුව තිබෙනවා.

මෙම සිදුවීම සිදුව තිබෙන්නෙ පානදුර උතුර පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරී කණ්ඩායමක් මාර්ගයේ ධාවනය වූ වාහන පරීක්ෂාවක් සිදු කරන අවස්ථාවේ දීයි.

පානදුර සිට කොළඹ දක්වා ධාවනය වූ මෙම පෞද්ගලික බස් රථයේ ආවේශණ රාජකාරියෙන් ගමන් කළ පොලිස් නිලධාරියෙකු එහි රියැදුරු විසින් සිදුකළ වැරදි තුනක් සම්බන්ධයෙන් මාර්ග බාධකයේ රැඳීසිටි නිලධාරීන්ට පවසා ඇති බව සඳහන්.

ඒ අනුව එහි රියැදුරු ප්‍රධාන මාර්ගය අවහිර වන සේ නැවැත්වීම, බස් නැවතුම්පළට පිටින් මගීන් නංවාගැනීම හා පදික මාරුව අවහිර වන සේ බස් රථය නැවැත්වීම යන කරුණු තුනක් සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයා රියදුරුට කරුණු පැහැදිලි කර දඩ කොලයක් ලබා දී තිබෙනවා.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරියාගේ උපදෙස් වලට අවනත නොවූ රියදුරු ඊට විරෝධය පළ කරමින් බස් රථයේ සිටි මගීන්ට ඉතුරු සල්ලි ලබා දී ඔවුන්ව බස්රථයෙන් බස්සවා නිවසට යන බව පවසා බස්රථය හරවා පිටව ගොස් තිබුණා.

මෙම ක්‍රියාව මාර්ග බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීමක් බවත් සිදුවීම වන අවස්ථාවේදී බස් රථයේ කුඩා ළමුන්, වියපත් පුද්ගලයින් ඇතුළු විසිපහකට ආසන්න පිරිසක් ගමන් කර ඇති බවත් ඔවුන් මෙසේ අතරමග බැස්සවීම බලවත් අසාධාරණයක් බවත් සභාපති ගාමිණී ජාසිංහ මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය එම බස් රථයේ මාර්ග බලපත්‍රය හා කොන්දොස්තරවරයාගේ කොන්දොස්තර බලපත්‍රය තාවකාලික අත්හිටුවා, රියදුරුගේ හා කොන්දොස්තරවරයාගේ සේවය වහාම අත්හිටු වීමට පියවර ගත් බවත් මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් වැඩිදුරටත් සඳහන් කළා.

Share This