හදිසියේ වසා දැමුණු NEXT ඇඟලුම් කම්හල ගැන ඇහෙන අලුත්ම කතාව

හදිසියේ වසා දැමුණු NEXT ඇඟලුම් කම්හල ගැන ඇහෙන අලුත්ම කතාව

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි NEXT ඇඟලුම් කම්හල හදිසියේ වසා දැමීම සම්බන්ධයෙන් වන තවත් විශේෂ සාකච්ඡාවක් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ මැදිහත් වීමෙන් ‌ඊයේ (27) පවත්වා ඇත.

කම්කරු අමාත්‍යංශයේ පැවති මෙම සාකච්ඡාව සඳහා අදාළ ඇඟලුම් කම්හලේ පාලනාධිකාරය, වෘත්තීය සමිති නියෝජිතයන් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරිහු එක්ව සිටියහ.

මීට පෙර පැවති සාකච්ඡාවලදී පාලනාධිකාරය සහ වෘත්තීය සමිති නියෝජිතයන් වෙන් වෙන්ව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා පවත්වා තිබිණි.

ඒ අනුව NEXT ඇඟලුම් කම්හලේ සේවකයන් සහ පාලනාධිකාරය සාකච්ඡා සඳහා එක්ව සහභාගී වුණ ප්‍රථම අවස්ථාව මෙය වේ.

අද පැවති සාකච්ඡාවේදීද කිසිඳු පූර්ව දැනුම්දීමකින් තොරව කම්හල වසා දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් අවධානය යොමු විය.

එසේ වසා දැමීමට තීරණය කළ යුත්තේ සේවකයන් පූර්ව දනුම්වත් කිරීමකින් අනතුරුව බව ද එහිදී ප්‍රකාශ කෙරිණි.

මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයන් අවධාරණය කළේ සේව්‍ය සේවක සාමූහික ගිවිසුමට අනුව පාලනාධිකාරය කටයුතු නොකිරීම ගැටළු සහගත බවයි.

ඊට පිළිතුරු දෙමින් පාලනාධිකාරය සඳහන් කළේ අදාළ සාමූහික ගිවිසුම නීත්‍යානුකූල ලියවිල්ලක් ලෙස පිළිගැනීමට හැකියාවක් නොමැති බවයි.

කෙසේ වෙතත් මීට පෙර ප්‍රකාශ කළ පරිදි සේවය අහිමිවන සේවකයන්ට කම්කරු නීතියට අනුව ගෙවිය යුතු වන්දි මුදලට වඩා වැඩි මුදලක් ගෙවීමට තම සමාගම තවදුරටත් සුදානමින් පසුවන බව ඔවුහු සඳහන් කළහ.

සිය ආයතනය මෙම කම්හල වසා දමීමට තීරණය කළේ මෙහෙයුම් පිරිවැය අධික වීමෙන් පසුගිය වසර කිහිපය පුරා දැඩි ලෙස පාඩු ලබමින් සිටීම හේතුවෙන් බවයි. ඒ අනුව අකමැත්තෙන් වුවද කටුනායක පිහිටි මෙම කර්මාන්ත ශාලාව පමණක් වසා දැමීමට සිදු වූ බව ඔවුහු පෙන්වා දුන්නහ.

එය සිය ව්‍යාපාරික තීන්දුවන් බවයි පාලනාධිකාරය අවධාරණය කළේය.

සේව්‍ය සේවක දෙපාර්ශවයේ අදහස් ලබා ගැනීමෙන් අනතුරුව මෙම කාර්මික ආරවුල විසඳා ගැනීමේ ඉදිරි පියවර පිළිබඳ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය ප්‍රකාශ කළේ ලබන 30 වැනිදා සේව්‍ය සේවක දෙපාර්ශවයම කැඳවා කම්කරු ක්‍රියාපටිපාටියට අනුව කටයුතු කරන බවයි.

Share This