ඉරාන-ඊශ්‍රායල යුද්ධය: ලෝකයේ අලුත් බලවතුන් උරගා බලන යුද්ධයක්

ඉරාන-ඊශ්‍රායල යුද්ධය: ලෝකයේ අලුත් බලවතුන් උරගා බලන යුද්ධයක්

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය සුමිත් චාමින්ද සමග සිදුකළ සාකච්ඡාවක් ඇසුරෙනි.

ඊශ්‍රායල-ඉරාන ගැටුම දැන් මැදපෙරදිග කලාපය හා සම්බන්ධ ගැටලුවකට එහා ගොස් ඇත. එය අද පවතින ලෝක පර්‍යාය පිළිබඳවම ගැටලුවකි. ඇමෙරිකාව ලෝක බලවතා ලෙස කිරුළු පැළඳ සිටි කාලය අවසන් වෙමින් ඇත. එය එසේ සිදුවෙතැයි ඔවුහු නොසිතුවා විය හැකිය. එහෙත්, මින් පෙර විය නොහැකියාවක් ලෙස පෙනුණු දේ මේවන විට සිදුවන්නට පටන් ගෙන ඇත.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුද්ධය එන්න එන්නම වර්ධනය වන්නේ කාගේ උවමනාවකටදැයි මතුවන සැකයකි. ඉකුත් සතියක G7 කණ්ඩායමේ රටවල් ඊශ්‍රායලයට සහයෝගය ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. G7 කණ්ඩායමේ ප්‍රබලම ධනවාදී රටවල් මෙම ගැටුමට යම් මැදිහත්වීමක් සිදු කළද ඒ කුමන අදහසකින්දැයි විමසිය යුතුය. ඔවුන් ඊශ්‍රායලයට සහයෝගය පළ කළේ සැබැවින්ම ඊශ්‍රායලය ආරක්ෂා කිරීමටද? යන්න නිශ්චිත නැත. ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කරනවාට වඩා ඔවුන් කලබල වී ඇත්තේ තමන් මූලික කරගත් ලෝක රටාව වෙනසකට ලක්වේදැයි කියාය. මන්ද එසේ වුවහොත් අලුත් ලෝක රටාවක් බිහිවන බැවිනි.

ශීත යුද්ධය අවදියේදී ලෝකයේ බලගතු බල කඳවුරු දෙකක් පැවැතිණි. නමුත්, ශීත යුද්ධය අවසන් වීමෙන් පසුව 1991දී සෝවියට් සංගමය බිඳ වැටුණි. එහිදී සෝවියට් සංගමය ජනරජ 15කට කැඩී ගියේය. අනතුරුව නිර්මාණය වන්නට පටන් ගත්තේ තනි බල කේන්ද්‍රයක් සහිත ලෝකයකි. එහිදී බලය ඒකරාශී වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය වටාය. ඒ ආකාරයට 1991 සිට 2008 දක්වා ඇමෙරිකාව ලෝක බලවතා ලෙස නැගී සිටියේය. තමාට අවැසි ආකාරයට ලෝකයේ අනෙක් රටවල අභ්‍යන්තර කාරණාවලට මැදිහත් වීම ඇමෙරිකාව දිගටම කරගෙන ගියේය.

නමුත්, 2008දී මේ තත්ත්වය වෙනසකට ලක් විය. ඒ ඇමෙරිකාවේ සහ යුරෝපයේ මූල්‍ය අර්බුදයක් ඇති වීමත් සමගය. එහිදී ආර්ථික වශයෙන් ඇමෙරිකානු ආධිපත්‍යයේ යම් බිඳ වැටීමක් සිදු විය. මෙහිදී ඇමෙරිකාව සහ යුරෝපයේ රටවල් බලාපොරොත්තු නොවූ ආකාරයට ආසියාතික රටවල් නැගී එන්නට විය. ඒ අනුව 2013 වසරේ සිට චීනයේ සුවිශේෂී වර්ධනයක් සිදු වන්නට විය.

2013 වසරේ සිට ඔවුන් BRI නමින් ව්‍යාපෘතියක් ආරම්භ කළේය.ඒ යටතේ මහද්වීප කීපයක් යා කරමින් ගොඩබිම් මාර්ග පද්ධතියක් සහ මුහුදු මාර්ග පද්ධතියක් ගොඩ නැගීම ආරම්භ කළ අතර ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක් එයට සහභාගි විය. අනතුරුව ඔවුන්ට අවශ්‍ය වූයේ එතෙක් ඇමෙරිකාව මුල්කරගෙන තිබූ ලෝක බැංකුවට සහ ජාත්‍යයන්තර මූල්‍ය අරමුදලට අභියෝග කිරීමටය. ඒ අනුව චීනය මුල්කරගත් ආර්ථික කඳවුරක් ගොඩනැගිණි. ක්‍රමයෙන් මෙම ව්‍යාපෘතියට ඒකාබද්ධ කර ආසියානු අධෝව්‍යුහමය ආයෝජන බැංකුව නමින් බැංකුවක් නිර්මාණය කළේ මේ අතරය.

මීට සමාන්තරව චීනයට අමතරව තවත් රටවල් කිහිපයක් ආසියාතික බලවතුන් සේ නැගී ඒමට පටන් ගත්තේය. මේවන විට ලෝකයේ වර්ධනය වෙමින් පවතින හතරවන විශාලතම ආර්ථිකයක් සහිත රට වන ඉන්දියාව ද ක්‍රමයෙන් ශක්තිමත් වීමට පටන් ගත්තේය. එතෙක් පැවැති ලෝක රටාව වෙනස් වීමට රුසියාවේ නැගීම සහ රුසියානු-චීන සබඳතාවය ද ඉතා වැදගත් විය.

මීට අමතරව ඇමෙරිකානු ආධිපත්‍ය බිඳ දැමීමට සහ බටහිර ධනවාදී කඳවුරේ රටවලට විශාල අභියෝගයක් එල්ල කිරීමට BRICS සංවිධානයට අයත් රටවල් සමත්ව ඇත. මෙම සංවිධානය නිර්මාණය වන්නේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල් වලිනි. මෑතකදී එයට ඉන්දුනීසියාව, ආසියාන් සංවිධානයේ ඇතැම් රටවල් සහ ඉරානය වැනි රටවල්ද සම්බන්ධ විය. ඉරානයද මෙම සංවිධානයට එකතු වී සිටීම වර්තමාන ගැටුමේදී ඇමෙරිකාවට එල්ල වන දැඩි අතුල් පහරකි.

ඇමෙරිකානු ලෝක බලවතා අඩපණ වීමට රුකුල් සපයන තවත් කරුණක් වන්නේ ‘ඩොලර්හරණයයි’. දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ලෝක ආර්ථිකය හසුරුවනු ලැබුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක මහ බැංකුව යන ආයතන මගිනි. ඒවායේදී ඇමෙරිකානු ඩොලරය ජාත්‍යන්තර මූල්‍ය ඒකකයක් ලෙස පිළිගැනුණි. එවිට ජාත්‍යයන්තර වෙලඳාමේදී ඩොලරයට ඇති ඉල්ලුම සහ පිළිගැනීම වැඩි විය.

නමුත් චීනය, ඉන්දියාව සහ රුසියාව ඇතුළු තවත් බොහෝ රටවල් මේවන විට ඇමෙරිකානු ඩොලරය අභියෝගයට ලක්කර ඇත. ඔවුන් ජාත්‍යයන්තර වෙළඳ ගනුදෙනු සිදු කිරීමේදී ඩොලරය වෙනුවට තම තමන්ගේ රටවල මුදල් ඒකක භාවිත කිරීමට කටයුතු කරති. මෙම ඩොලර්හරණය ගැන සාකච්ඡාවලට සෞදි අරාබියද යම් ආකාරයකින් සම්බන්ධ වී තිබේ. එමෙන්ම BRICS සංවිධානය මෑතකදී යෝජනා කළේ එම සංවිධානයේ නමින් අලුත් මූල්‍ය ඒකකයක් හඳුන්වා දීමටය.

මේ ආකාරයට ඇමෙරිකානු ආර්ථිකයට විශාල පහරක් එල්ල වී ඇත. එහි ප්‍රධානියා වන්නේ චීනයයි.

තම ආධිපත්‍ය බිඳ වැටීම, මෙතෙක් පැවැති ලෝකයේ තමාට හිමිව තිබූ නායකත්වය ගිලිහී යාම, ආසියාවට බලය මාරු වීම යන කාරණා වර්තමානයේ ඇමෙරිකාවේ ප්‍රතිපත්ති සම්පාදනයේ දී බරපතල ලෙස ඔවුන් සලකා බලන කාරණා වේ.

ඇමෙරිකා එක්සත් ජනපදය කලක් අත්තනෝමතික ලෙස තීරණ ගෙන අනෙකුත් රටවල අභ්‍යන්තර දේශපාලනයට අනවශ්‍ය ලෙස මැදිහත් වූ විට අනෙකුත් බලවතුන් ඇමෙරිකානු ආධිපත්‍ය නිහඬව අනුමත කළහ. නමුත්, නව බල රටාව අනුව ඇමෙරිකානු ආධිපත්‍ය අභියෝගයකට ලක්කිරීමට අනෙකුත් රටවලට හැකියාව ලැබී තිබේ. ඔවුන් දැන් ඒ සඳහා සටන් කරති.

ඊශ්‍රායල-ගාසා ගැටුම වර්ධනය වන විට ඉරානය හමාස් සහ හිස්බුල්ලා වෙත ආයුධ සැපයුවේය. ඉරානයට අවශ්‍ය වූයේ ඊශ්‍රායල ජාතිකයින් එම භූමියෙන් අතුගා දැමීමත් ගාසාවේ පලස්තීන වැසියන්ට නිදහසේ ජීවත් වීමට ඉඩ හැරීමත්ය. නමුත් දැන් ඉරානය සෘජුවම ඊශ්‍රායලයට අභියෝග කරති. ඔවුන් හා සටන් වදිති. සෘජු යුදමය දායකත්වයක් ලබා නොදුන්නද චීනය ඉරානයට ආයුධ සපයන බව ප්‍රසිද්ධ රහසකි. ඉකුත් සතියේ දිනක ඉරානය වෙත යවන ලද භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා එයට කදිමට සාක්ෂියක් සපයයි. මේ අතර ඇමෙරිකාව ඊශ්‍රායලයට සිය තාක්ෂණය සහ ආයුධ ලබා දී ඇති බව ද පැහැදිලිය. ඉරාන නායක අයතුල්ලා අල් කමේනි ඝාතනය කරන බවට ඊශ්‍රායලය උදම් ඇනුවේ ඇමෙරිකාවේ සහයෝගය නිසා බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ අනුව පෙනෙන්නේ මෙය ලෝක බලවතුන් අතර පවතින සෙවනැලි යුද්ධයක් ලෙසය. ඔවුන් තමාට අවශ්‍ය පාර්ශ්වය සමග සෘජුවම යුද වැදීමට නොගොස් වක්‍රාකාරයෙන් වෙනත් පාර්ශ්වයන් ලවා යුද වැදෙති.

රුසියාව චීනයෙන් ඉවත් කිරීමට තමාට අවශ්‍ය වූ බව ට්‍රම්ප් ඇතැම් අවස්ථාවලදී සෘජුවම ප්‍රකාශ කළේය. එහි දිගු කාලීන අරමුණ නම් රුසියාවෙන් ඉවත් කොට චීනය හුදෙකලා කිරීමය. ට්‍රම්ප් ඒ සඳහා විවිධ උපක්‍රම භාවිත කළේය. රුසියානු ආර්ථිකයට පහර දීමට කළ උත්සහයද අසාර්ථකය. ඉන්දියාව වැනි රටවල් දිගටම රුසියාව පැත්තේ සිට ගැනීමත් සමග ට්‍රම්ප්ගේ සියලු උත්සහයන් ගඟට ඉනි කැපුවාක් මෙන් නිශ්ඵල විය.

ඇමෙරිකාව ඉරාන යුද්ධයට සෘජු මැදිහත්වීමක් සිදුවනවා නම්, සහ එය ඇමෙරිකාව බලාපොරොත්තු වන ආකාරයටම අවසන්වනවා නම් පවතින ලෝක රටාවේ වෙනසක් නොවනු ඇත. ඇමෙරිකාවට තවදුරටත් ලෝක බලවතා යන නාමය ආරක්ෂා කරගත හැකි වනු ඇත.

නමුත් යම් හෙයකින් එම ව්‍යාපාරය අසාර්ථක වුවහොත් ඇමෙරිකාව මුල්කරගත් ලෝක රටාවේ වෙනසක් සිදුවනු නොඅනුමානය. එවිට ඇමෙරිකානු ආධිපත්‍ය තවදුරටත් ලෝකයට වලංගු නොවනු ඇත.

මේවන විට ලෝකයට මේ යැයි කිවහැකි එක් බලවතෙකු නැත. කලාපීය වශයෙන් එක් එක් රටවල් ඒ ඒ කලාපයට බලවතෙකු වී අවසන්ය. ඇමෙරිකාව එක්සත් ජනපදය එම කලාපයේ බලවතා ලෙස තවදුරටත් රැඳී සිටීමට කටයුතු කරයි. පැනමා ඇළේ අයිතිය තමා සතු විය යුතු බවත්, ග්‍රීන්ලන්තයේ අයිතිය තමා සතු විය යුතු බවත්, කැනඩාව ඇමෙරිකාවේ 51වන ප්‍රාන්තය බවට පත්කර ගත යුතු බවටත් ට්‍රම්ප් තර්ක කරන්නේ ඒ අනුවය. අනෙක් පසින් චීනය තායිවානයට මැදිහත් වන්නේ එම කලාපයේ බලවතා තමා යැයි ඒත්තු ගැන්වීමටය.

මේවන විට ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුමේදී ඇමෙරිකාවේ අඛණ්ඩ සහයෝගය ඊශ්‍රායලයට හිමිව තිබේ. ඇමෙරිකාව ඉරානයට අනතුරු ඇඟවූ ආකාරයටම එහි භූගත ෆාර්ඩෝ න්‍යෂ්ටික සැපයුමට මෙන්ම නටාන්ස්, සහ ඉස්ෆහාන් යන අනෙකුත් ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කර තිබේ. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ට්‍රම්ප්ගේ මෙම ප්‍රහාරය ගැන අගය කොට ඇත්තේ ඒ පිළිබඳ උදම් අනමිනි. ඊශ්‍රායලය ඇමෙරිකාවේ රූකඩයක් බවට පත්ව හමාරය. ට්‍රම්ප් ඉරානයට එරෙහිව ගනු ලබන සෑම අත්තනෝමතික තීරණයකටම එකහෙළා හිස නවන නෙතන්යාහු වැනි රූකඩ ඉරානයට-ඊශ්‍රායලයට පමණක් නොව මුළු මහත් ලෝකයටම තර්ජනයකි.

ඉකුත් 21වැනි දා පටන් ඊශ්‍රායල-ඉරාන යුද්ධය ඉතා උණුසුම් තත්ත්වයකට පත්ව ඇත. ඊශ්‍රායලයේ ටෙල් අවිව් සහ සහ හයිෆා නගර සම්පූර්ණයෙන් පාහේ විනාශයට පත්ව ඇත. දැවැන්ත ඉරාන බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් එම කලාපවල ගොඩනැගිලි විශාල වශයෙන් ගිනිගැනීමට ලක්ව තිබේ. එක් ප්‍රහාරයකින් හයිෆා නගරයේ තිබූ පැරණිතම මුස්ලිම් පල්ලියක් වන 1761 දී ඉදිකරන ලද ‘අල් ජරිනා’ පල්ලිය විනාශ වී තිබුණේ එහි සිටි පූජකවරුන්ටද තුවාල සිදුකරමිනි.

මේ අතර ඊශ්‍රායලයේ සහ ඉරානයේ වෙසෙන ජාත්‍යන්තර වැසියන් හුස්ම හෙලනුයේ මරණය හමුවේය. ඊශ්‍රායලයේ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් බොහෝය. ඔවුන් ඇතැම් පිරිසක් ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සහ කරති. එසේ පැමිණි එක් ශ්‍රී ලාංකිකයකු නිරුපද්‍රිතව තම රටට පැමිණ තිබේ. එසේම තවත් ඇතැමුන්ගේ ආරක්ෂාව තහවුරු කරලීමට ශ්‍රී ලංකා රජයට හැකියාව ලැබී තිබුණද වීසා නොමැති හා කල් ඉකුත් වූවන් මුහුණ දී සිටින්නේ බරපතල ගැටලුවකටය. ඊශ්‍රායලයේ වීසා නොමැතිව ඊජිප්තුවට ඇතුළු වීමේදී දීර්ඝ ප්‍රශ්න කිරීම් හා අත්අඩංගුවට ගැනීම් සිදුවන බැවින් හදිසි තත්ත්වය මත වුවද වීසා නොමැති හා කල් ඉකුත්වූ ශ්‍රී ලාංකිකයන් ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාවට පිටත් නොකරනු ඇත.

මේවන විට ඊශ්‍රායලයේ ප්‍රධාන ගුවන්තොටුපළවල් වසා දමා ඇත. ඒ හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකිව ඒ ආසන්න රටවල රැඳී සිටි ඊශ්‍රායල ජාතිකයින් සිය රටට පැමිණ ඇත්තේ සයිප්‍රස් හරහා මගී යාත්‍රාවලිනි. ඊශ්‍රායල ගුවන්තොටුපළවල් වසා දැමීම නිසා, වලංගු ඊශ්‍රායල වීසා බලපත්‍රයක් නොමැති පිරිසට ශ්‍රී ලංකාව බලා යාමට නම් ටෙල්-අවිව් ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත වන තුරු බලා සිටීමට සිදුවනු ඇත.

මේ සියල්ල අනුව වර්තමානය වන විට පැහැදිලි ලෝක පර්‍යායක් නැත. පවතින ලෝක පර්‍යාය බිඳ වැටෙමින් පවතී. නව ලෝක පර්‍යාය කුමක්දැයි තවමත් නිශ්චිත නොවේ. එය තීරණය වනු ලබන්නේ පවතින යුදමය තත්ත්වයන්ගේ අවසානයත් සමගය.

ඊශ්‍රායල-ඉරාන ගැටුම හුදෙක් තවත් එක් ගැටුමක් පමණක් නොව අලුත් ලෝක පර්‍යායේ ස්වභාවය කුමක්ද? අනාගත ලෝක ක්‍රමය කුමක්ද? සහ එහි බලවතුන් කවුද? යන්න තීරණය කරන ගැටුමකි.

සඳුනි තිලකරත්න

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය සුමිත් චාමින්ද

Share This