70 හැවිරිදි ඉන්දීය ගොවි නායකයෙක් දින 40 ක් පුරා උපවාසයක
විරෝධතාවයේ නිරත ගොවීන්ගේ ඉල්ලීම් පිළිගැනීමට ෆෙඩරල් ආණ්ඩුවට කෙරෙන බල කිරීමක් ලෙස, ඉන්දියාවේ 70 හැවිරිදි ගොවි නායකයෙකු දින 40 කට වැඩි කාලයක් පුරා උපවාසයක නිරතව ඇති බව වාර්තා වනවා.
ජග්ජිත් සිං දල්ලෙවාල් නම් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට නරක අතට හැරී ඇති බවයි, වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.
කතා කිරීමට පවා නොහැකි තත්ත්වයක පසුවන ඔහු වෛද්‍ය ආධාර ප්‍රතික්ෂේප කර ඇති බවත් සඳහන්. ඊට ඔහුගේ ආධාරකරුවන් ද සහය දෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව, පසුගිය මාසයේදී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පන්ජාබ් ප්‍රාන්ත රජයට නියෝග කර තිබුණේ ජග්ජිත් සිංව රෝහලකට මාරු කරන ලෙසයි.
එමෙන්ම මෙම ගැටළුවට අදාළව පෙත්සම් රැසක් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බවත් සඳහන්.
මෙම ගොවි නායකයාගේ උපවාසය, පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්ත අතර දේශසීමාවේ දහස් ගණන් ගොවීන් රැස්ව කළ විරෝධතාවයේ ම දිගුවක් බව කියවේ.
ඔවුන්ගේ ඉල්ලීම් අතරට ඇතැම් භෝග සඳහා සහතික මිලක්, ණය සහන සහ මීට පෙර විරෝධතාවලදී මියගිය ගොවීන්ගේ පවුල් සඳහා වන්දි ලබාදීම යනාදිය ඇතුළත්.
එහිදී ඔවුන් දිල්ලි අගනුවරට පාගමනින් යාමට උත්සාහ කළ නමුත් ආරක්ෂක අංශ විසින් එය වළක්වා තිබුණා.
ඉන්දියාවේ ගොවීන් තම ගැටලු ඉස්මතු කිරීමට දැවැන්ත විරෝධතාවක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය නොවේ.
2020 දී, ඔවුන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය විසින් හඳුන්වා දුන් ගොවිපළ නීති තුනක් අවලංගු කරන ලෙස ඉල්ලා දිල්ලි දේශසීමාවේ මාස ගණනාවක් පුරා විරෝධතා පවත්වනු ලැබුවා.
නීති මගින් කෘෂිකාර්මික නිෂ්පාදන අලෙවිය ප්‍රතිසංස්කරණය කර ප්‍රජාවට ප්රතිලාභ ලැබෙනු ඇතැයි රජය ප්‍රකාශ කළ නමුත්, ගොවීන් තර්ක කර තිබුණේ ඒවා සූරාකෑමට ලක්වනු ඇති බවයි.
අවසානයේ එම නීති අවලංගු කළ නමුත් විරෝධතාවයේ නිරත ගොවීන් සඳහන් කර තිබුණේ රජය 2020 දී කරන ලද ඉතිරි ඉල්ලීම් ඉටු කර නොමැති බවයි.