හරක් කටාට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය අද ඇරඹුණා
තවත් පුද්ගලයෙකු සමඟ බලහත්කාරයෙන් නිවසට ඇතුළු වී ගිනිඅවි පෙන්වා එම නිවසේ තිබූ රුපියල් විසි දහසක මුදලක් පැහැරගෙන යාම මෙන්ම මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් පැහැරගෙන යාම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මේ වන විට තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා යන අයට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ ආරම්භ වුණා.
නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයවීම අනුව මෙම නඩුවේ පැමිණිල්ලේ පලවෙනි සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටින මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි බස්රථ හිමිකරුවකු වන අනුර පාලිත පෙරේරා යන අය අධිකරණයේ හමුවේ සාක්ෂි ලබා දුන්නා.
2005 ජුනි 10 වැනිදා තමා සිය නිවසේ පිටුපස පිහිටි ළිඳ අසල මුහුණ සෝදමින් සිටිනා අතරතුර ගේට්ටුව දෙසින් යම්කිසි ශබ්දයක් ඇසුණු බවත්, තමා ඒ ගැන බලන විට පුද්ගලයන් දෙදෙනෙකු වත්තට ඇතුල් වී සිටි අතර එහි සිටි එක් අයෙක් ගිනිඅවියක් අත තබාගෙන තම හිසට එල්ල කර තමාව ගේ ඇතුලට රැගෙන ගොස් අල්මාරිය තුළ තිබූ රුපියල් විසිදහසක මුදලක් බලහත්කාරයෙන් ලබා ගත් බවත් සාක්ෂිකරු අධිකරණය හමුවේ පැවසුවා .
එලෙස පැමිණිල්ලේ සාක්ෂි ලබා දීම අවසන් වීමෙන් අනතුරුව විත්තියේ හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ වූ අතර පොලිස් සටහන් පොතේ ඡායා පිටපත් විත්තිය වෙත ලබාදීමට විනිසුරුවරයා පොලීසිය වෙත නියෝග කළා.
අනතුරුව වැඩිදුර හරස් ප්‍රශ්න ඇසීම සඳහා මෙම නඩුව නැවත ලබන පෙබරවාරි මස 13 වන දින කැඳවීමට නියම කළ විනිසුරුවරයා විත්තියේ නීතිඥ අරුණ මදුශංක මහතාට නඩුව සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට අවසරය ලබා දෙන ලෙසට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අධ්‍යක්ෂකවරයා වෙත නියම කර තිබෙනවා.
ඉදිරි නඩු දිනයේදී විත්තිකරු විධිමත් ආරක්ෂාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට විනිසුරුවරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළා.