ජනතාව පිළිකාවෙන් මුදාගැනීම රජයේ ප්‍රමුඛතම අරමුණයි
පිළිකාව පුද්ගල ඛේදවාචකයක් ලෙස නොව සමස්ත ජාතියේම අභියෝගයක් සේ සලකා ජනතාව එයින් මුදා ගැනීමට ක්‍රියා කිරීම වත්මන් රජයේ ප්‍රමුඛතම අරමුණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (20) අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැති උත්සවයකට එක්වෙමින්.
එහිදී අති නවීන තාක්ෂණයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ තෝරා ගත් රජයේ රෝහල්වල ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර සදහා ගිවිසුම් අත්සන් කිරීම එහිදී සිදු කෙරුණා.
වර්තමානය වන විට බෝ නොවන රෝග අතුරින් පිළිකා රෝගී තත්ත්වය ජනතාව අතර පැතිරයාමේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි එහිදී අමාත්‍යවරයා කියාසිටියේ.
එය මර්දනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම, ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ශක්තිමත්ම ඉදිරියට ක්‍රියාත්මක කිරීම ඇතුළුව විවිධ ප්‍රායෝගික වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා තිබෙනවා.
පළාත් කිහිපයක් ආවරණය වන පරිදි රෝහල් පහක් දෙවන අදියර යටතේ තෝරා ගෙන අති නවීන තාක්ෂණයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ ස්ථාපිත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ තුළින් පිළිකා රෝගීන්ට දුර බැහැර ගෙවා රෝහල් කරා පැමිණිම වෙනුවට තමා පදිංචි ප්‍රදේශය ආසන්නයේම රෝහලෙන් එම ප්‍රතිකාර ලබා ගැනීමට පහසුව ලැබීම තුළ රෝගීන්ට පමණක් නොව එම රෝගී පවුල්වල සාමාජිකයන්ට පවා මහත් සහනයක් සැලසෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ ත්‍රියාත්මක වන අතර පළමු අදියර යටතේ රෝහල් නවයක අති නවීන තාක්ෂණයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
දෙවන අදියර යටතේ පළාත් පහක ශික්ෂණ රෝහල් පහක මෙම යන්ත්‍ර පහක් ස්ථාපිත කිරීමට නියමිතයි.
සමස්ත ව්‍යාපෘතිය යටතේ මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ යන්ත්‍ර 14ක ස්ථාපනය කරන බව ද මෙහි දී අනාවරණ වනු ඇති.
එම යන්ත්‍ර උතුරු මැද පළාත ආවණය වන පරිදි අනුරාධපුර ශික්ෂණ රෝහලේත්, වයඹ පළාත ආවරණය වන පරිදි කුරුණෑගල ශික්ෂණ රෝහලෙත්, ඌව පළාත ආවරණය වන පරිදි බදුල්ල ශික්ෂණ රෝහලේත්, දකුණ පළාත සහ නැගෙනහිර පළාත ආවරණය වන පරිදි හම්බන්තොට ශික්ෂණ රෝහලේත්, සබරගමුව පළාත ආවරණය වන පරිදි රත්නපුර ශික්ෂණ රෝහලේත් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සදහා ඩොලර් මිලියන 16 ක් ආයෝජනය කර ඇති බව සඳහන්.
දෙවන අදියර සඳහා ආයෝජනය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 13ක් වන අතර සමස්ත ව්‍යාපෘතිය සදහා ව්‍යාපෘති ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 29ක් වනවා.