ව්‍යාපෘති අතරමග නතරවීම නිසා විශාල මුදලක් රජයට අහිමි වෙලා

ව්‍යාපෘති අතරමග නතරවීම නිසා විශාල මුදලක් රජයට අහිමි වෙලා

ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ 2020 වර්ෂයේදී පළාත් සභා අරමුදල් මගින් ක්‍රියාත්මක වූ ජල සැපයුම් ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති 32 ක් 2022 වර්ෂයේ අගෝස්තු මාසයේ සිට අතරමග නතරවීම හේතුවෙන් ඒ සඳහා වැය කරන ලද රුපියල් කෝටි 381ක මුදලක් රජයට අහිමි වී ගොස් ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

මෙම ව්‍යාපෘති අතර මග නතර වී ඇත්තේ ඇතැම් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා පළාත් සභා ආවරණය වන සමහර ප්‍රදේශවල ජල සම්පාදන පහසුකම් නොමැතිවීම, එම ස්ථානවලට ගමන් කිරීම සඳහා ප්‍රවේශ මාර්ග නොමැතිවීම, ඉදිකිරීම් කරගෙන යන ගොඩනැගිලි අනුමත සැලසුම්වලට අනුකූල නොවීම හේතුවෙන් බවද සඳහන්.

වෙළෙඳපොළවල් ඉදිකිරීම, සත්ත්ව පාලන මධ්‍යස්ථාන, සමෘද්ධි ව්‍යාපෘති සඳහා ගොඩනැගිලි පවත්වා ගෙන යන ස්ථාන ආරම්භ කිරීම ප්‍රජාශාලා ඉදිකිරීම යන ආදී ස්ථාන ආරම්භ කර ඇත්තේ මහජන ඉල්ලීම්වලින් තොරව බවටද අනාවරණය වී තිබෙනවා.

ඇතැම් ව්‍යාපෘති ආරම්භ කර ඇත්තේ ශක්‍යතා අධ්‍යයනයකින්ද තොරවයි.

පළාත් සභාවල අනුමැතියෙන් ආරම්භ කරන ලද ජල ටැංකි විශාල ප්‍රමාණයක් ඉදිකිරීම් කර ඇත්තේ බිම් මට්ටම සැලකිල්ලට නොගෙන බවත් අනාවරණය වී තිබෙනවා.

ජලය පිරිසුදු කිරීමේ යන්ත්‍රය යන්ත්‍රවල ප්‍රමාණවත් ධාරිතාවක් නොමැති වීම හේතුවෙන් ජල ව්‍යාපෘති 25 ක් පමණ අතරමඟ නතර වී ඇති බවත්, මෙම ඉදිකිරීම් සම්බන්ධව නතර කරන ලද සෑම ව්‍යාපෘතියකම දකින්නට ලැබෙන පොදු ලක්ෂණය වනුයේ ඒවාට නිසි සැලසුමක් නොමැති වීම බවටත් වාර්තා වී ඇති බවත් සඳහන්.

 

Share This