දේශීය හා ගෝලීය ශ්‍රම වෙළෙඳපොළට පුහුණු ශ්‍රම බලකායක් ගොඩනැගීම රජයේ අරමුණ

දේශීය හා ගෝලීය ශ්‍රම වෙළෙඳපොළට පුහුණු ශ්‍රම බලකායක් ගොඩනැගීම රජයේ අරමුණ

රජයේ සංවර්ධන දැක්ම අනුව රටට අවශ්‍ය වන්නේ දේශීය සහ ගෝලීය ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලීමට සූදානම් පුහුණු ශ්‍රම බලකායක් ගොඩනැගීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ(27) පැවති ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ඩිප්ලෝමා හැදෑරූ සිසුන් වෙනුවෙන් සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

“රටක්, ජාතියක් දියුණු වීමට, සමාජයක් දියුණු වීමට විවිධ කුසලතා ඇති පුද්ගලයින් අවශ්‍යයි. රටේ අධ්‍යාපන ක්‍රමය මගින් කිසිවකු අත් නොහැර ඉදිරියට ගැනීමයි අපේ රජයේ අරමුණ. අපේ තාරුණ්‍ය කුසලතා පූර්ණ රැකියා සඳහා සෘජුවම අදාළ වන පුද්ගලයින් ලෙස සන්නද්ධ කළ යුතුයි. ඒ වගේම ව්‍යවසායකත්ව දක්ෂතා ඇති ශ්‍රම බලකායක් කළ යුතුයි. ඒමගින් ශ්‍රම වෙළඳපල සහ තරුණ ප්‍රජාව අතර පවතින කුසලතා පරතරය අඩු කළ හැකියි. වෘත්තීය අධ්‍යාපනය, කාර්මික අධ්‍යාපනය හෝ ශ්‍රම වෙළඳපොළට සෘජුවම සම්බන්ධ වූ පුහුණු අවස්ථා බොහෝ දෙනෙකුට ලබා ගත හැකි පරිදි පාසලේ සිට තෘතීයික මට්ටම දක්වා තරුණ තරුණියන්ට තාක්ෂණික අධ්‍යාපනය සහ වෘත්තීය කුසලතා ලබාදීමට අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අපි සැලසුම් කර තිබෙනවා.

සෑම වෘත්තියකටම වටිනාකමක් ලැබිය යුතුයි. තමන් කැමති ඕනෑම වෘත්තියකට පිවිසෙන සෑම පුද්ගලයකුම සමාජයේ වැදගත් සහ වටිනා සාමාජිකයෙකු ලෙස හැඟෙන බවට සහතිකයක් ඇති විය යුතුයි. තෝරාගත් වෘත්තිය තුළ, ඔහුට හෝ ඇයට දියුණු විය හැකි බවට විශ්වාසයක් ඇති කිරීමත් අවශ්‍යයි. අපේ රටට යහපත් අනාගතයක් නිර්මාණය කරන්න ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට හොඳ හැකියාවක් තිබෙනවා. ඒ සඳහා වන අවස්ථා වැඩි කරන්න වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපනය සංවර්ධනය කිරීම ඉතා වැදගත්. විශේෂයෙන් පුහුණු මධ්‍යස්ථානවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ධාරිතා සංවර්ධනය තුළින් පුහුණුවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ වෘත්තීය අධ්‍යාපනය තුළ තරුණයින්ට ගමන් කළ හැකි විවිධ මාර්ග සහතික කිරීම සහ නිර්මාණය කිරීම අවශ්‍යයි. “

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ විෂයයන් දහතුනක් යටතේ ඩිප්ලෝමාව හැදෑරූ තරුණ තරුණියන් 761 දෙනෙකු වෙත මෙහිදී සහතිකපත් ප්‍රදානය කෙරුණා.

Share This