හිටපු සුරාබදු කොමසාරිස්ට රට යන්න අවසර
පුද්ගලික කටයුත්තක් සඳහා විදේශ ගතවීමට අවසර දෙන ලෙස හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි මහතා කළ ඉල්ලීමකට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා.
හිටපු සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ගොනුකර තිබූ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එම ඉල්ලීමට අද (17) අවසර ලබා දුන්නා.
පසුගිය පාලන සමයේ අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් අධිකරණයට අපහාස කොට ඇතැයි චෝදනා කරමින් ගොනු කර ඇති පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා තමන් අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත නොවන බවට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පොරොන්දු වී තිබුණා.
ඒ අනුව අදාල මෝසම ඉදිරිපත් කරමින් හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා තම සේවාදායකයාට පෞද්ගලික කටයුත්තක් සඳහා ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට අවශ්‍ය ව තිබෙන බව දැනුම් දුන්නා.
ඒ අනුව ජනවාරි මස 22 වනදා සිට පෙබරවාරි මස 28 වනදා දක්වා කාල සීමාව තුළ තම සේවාදායකයාට විදේශගත වීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීමට මෙම නඩුකරයේ තවත් පාර්ශවයක් වන පෙත්සම ඉදිරිපත් කළ බලපත්‍ර ලත් මත්පැන් හල් හිමියන් විසින් විරෝධය පළ කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ ඉල්ලීමට අවසර දෙන බව ප්‍රකාශ කළා.