කෙහෙළියට එරෙහි නඩුව කල් යයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහි නඩුව ලබන 16 වනදා දක්වා කල් තැබීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.
ඒ, නඩුවේ අධි චෝදනා පත්‍ර සමග භාරදිය යුතු ඇමුණුම් මේ දක්වා මුද්‍රණය කර ලැබී නොමැති බැවිනි.
මෙම නඩුකරයට අදාළ චෝදනා පත්‍ර අධිකරණය හමුවේ ගොනු කර තිබූණද ඊට අදාළ ඇමුණුම් මේ වන විට ගොනු කර නොමැති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයට දැනුම් දුන්නාය.
එක් විත්තිකරුවකු වෙනුවෙන් ඇමුණුම් මුද්‍රණය කිරීම සඳහා රුපියල් 866,565/- ක් වැය වන බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාලවරිය මේ ආකාරයෙන් විත්තිකරුවන් දොළොස් දෙනෙකු වෙනුවෙන් අදාල ඇමුණුම් මුද්‍රණය කිරීමට නියමිතව තිබෙන බවත් ඇය කියා සිටියාය.
එම ඇමුණුම් ලැබීමට දින 21 ක් පමණ ගතවනු ඇති බවට රජයේ මුද්‍රණාලාධිපතිවරයා දැනුම් දී ඇති නිසා දින 21කට පසුව එළඹෙන දිනයක මෙම නඩුව කැඳවන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලීම් කළාය.
ඒ අනුව අදාල නඩුව සැප්තැම්බර් මස 16 වන දා කැඳවීමටද අධිකරණය නියම කර ඇත.