ඡන්දයක් වෙනුවෙන් වැය කළ හැකි මුදල ප්‍රකාශයට

මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ එක් ඡන්දදායකයෙක් සඳහා වැය කළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව ඡන්දය පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 336 සඳහා වෙන්වෙන් වශයෙන් එම මුදල් ගැසට් කිරීමට නියමිතයි.
රුපියල් 74ත් රුපියල් 160ත් අතර මුදලක් මෙලෙස තීරණය කර ඇති බවයි, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
මන්නාරම පළාත් පාලන ආයතන සඳහා ඡන්ද අපේක්ෂකයින් එක් ඡන්දයක් වෙනුවෙන් රුපියල් 74ක මුදලක් වැය කළ යුතු අතර එය මෙම මැතිවරණයේදී වැය කළ හැකි අවම මුදල වනවා.
ලාහුගල පළාත් පාලන ආයතනය සඳහා එක් ඡන්දදායකයෙකුට රුපියල් 160ක මුදලක් වැය කළ යුතු අතර එය මෙම මෙම මැතිවරණයේදී වැය කළ හැකි වැඩිම මුදල බවයි, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
මැතිවණ කොමිසම විසින් තීරණය කරනු ලබන මුදලට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් කරන්නේ නම් එය නීතිවිරෝධි ක්‍රියාවක් වන අතර අදාළ මැතිවරණ නීතිය යටතේ ඡන්ද අපේක්ෂකයාට දඬුවම් කළ හැකි බව සඳහන්.
මැතිවරණ ප්‍රතිඵල නිකුත් කළ දිනයේ සිට දින 21ක් ඇතුළත් අදාළ වියදම් වාර්තා නම් කරන ඇති නිලධාරියා වෙත භාරදිය යුතුයි.
අදාළ වාර්තා ලබාගැනීමේ සිට දින 10ක් අවසන් වීමෙන් අනතුරුව එය මහජනතාවට පරීක්ෂා කිරීමට ඉඩ ලබා දිය යුතු බවත්, ඒ සඳහා සුදුසු වේලාවක් සහ ස්ථානයක් නම් කර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යවල පුවත්පත් දැන්වීම් පළ කළ යුතු බවත් අදාළ පනතෙහි සඳහන්.
භාර දෙන ලද වියදම් වාර්තා සහ ප්‍රකාශනය පරීක්ෂා කර බැලීමට ජනතාවට අවසර දිය යුතුයි.
එමෙන් ම එහි පිටපතක් මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණය කරන ලද මුදලක් ගෙවා ලබා ගත හැකි බවයි අදාළ පනතේ දක්වා ඇත්තේ.
මැතිවරණය සඳහා නියමිත මුදල් ප්‍රමාණයට වඩා අපේක්ෂකයින් වියදම් කර ඇතැයි හැඟෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමේ හැකියාව ද පවතිනවා.
යම් අයෙක් මහාධිකරණයක් මඟින් වරදකරු වූ විට ඒ සම්බන්ධ වූ මැතිවරණ පනත්වල නියම කර ඇති දණ්ඩනයට යටත් විය යුතුයි.
ඒ අනුව රුපියල් ලක්ෂයක මුදලක් නොඉක්මවන දඩයක් නියම වනු ඇති.
වරදකරු වීම හේතුවෙන් වසර තුනක කාලයකට ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීමේ හැකියාව ද අහිමි වන බව සඳහන්.
එමෙන් ජයග්‍රහණය කළ අපේක්ෂකයෙකු නම් ඔහුගේ ධුර අහෝසි කිරීමේ බලය මැතිවරණ කොමිසම සතු වනවා.