විෂඝෝර සර්පයන්ට ආදරය කරන 21 හැවිරිදි තරුණයා
කුඩා කල සිටම විෂඝෝර සර්පයන්ට ආදරය කරමින්, තමන්ගේ හොදම මිතුරන් ලෙස විෂඝෝර සර්පයන් ඇසුරු කරන අපුරු තරුණයකු පිළිබඳ පුවතක් අපට වාර්තා වනවා.
කුඩා කල සිටම විෂඝෝර සර්පයන්ට ආදරය කළ මෙම තරුණයා, වයස අවුරුදු 16 වන විට තමන්ටම ආවේණික වු මෙවලම් කිහිපයක් නිර්මාණය කරගෙන නිවාසවලට එන විෂඝෝර සර්පයන් ඇල්ලීම විනෝදාංශයක් කරගත් අයෙක්.
ඔහු මේ වනවිට 21 හැවිරිදි නව යොවුන් තරුණයෙක් වන අතර එම සතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම ඔහුගේ ජීවිතයේ එකම අරමුණයි.
නමින් කලණ කාංචන වන මෙම තරුණයා, පුද්ගලික ආයතනයක රැකියවක් කරමින්, වර්තමානයේ දංකොටුව – කිරිමැටියාන ප්රදේශයේ වාසය කරනු ලබනවා.
කලණ කාංචන, විෂඝෝර සර්පයින් සමග සිය අත්දැකීම් මෙලෙස පැහැදිලි කළා,
“මම මේක රස්සාවක් විදිහට කරන්නෙ නැහැ.. මම පුංචි කාලේ දැකලා තියෙනවා ගෙවල්වලට සර්පයන් ආවහම මිනිස්සු තඩි පොලු මුගුරු අරගෙන දරුණු විදිහට ඒ සර්පයන් මරා දානවා.. සමහර අවස්ථාවලදී මම දැකල තියෙනවා පණ තියෙද්දීත් සර්පයින් පුච්චනවා.. ඇත්තටම මේ සර්පයන් ඉතාම අහිංසක සතුන්.. ඔවුන් නිවාසවලට එන්නෙ නැහැ.. නමුත් උන් ආහාර සොයාගෙන ගොදුරක් පසුපස යාමේදී ඇතැම් නිවාසවලට රිංගනවා.. ඉතින් මේ සතෙක් කෑවොත් මාරාන්තික නිසාම මිනිසුන් උන් මරා දානවා.. මේ සතුන් මරා දැමීමේදි මිනිසුන්ගේ අනේකවිධ කුරිරු වද හිංසාවලට ලක්වෙලා තමා මැරෙන්නෙ.. ඒ වගේම මේ සතුන්ගෙ ඇගට කවදාවත් භූමි තෙල් දාන්න එපා.. සමහර අය උන්ගෙ ඇග පුරාම භූමිතෙල් වක්කරනවා.. ඊට පස්සේ උන් සති ගණන් දුක් විඳලා මැරෙනවා.. භයානක වුණත් මේ සත්තු ඉන්න නිසා තමයි පරිසරයේ සමතුලිතභාවය රැඳිල තියෙන්නේ.. මම මෙි වනවිට සර්පයන් දහස් ගණනකගේ ජීවිත බේරල තියෙනවා.. හැබැයි මට කිසිම අවස්ථාවක සර්පයෙක් දෂ්ට කරල නැහැ.. මේ සර්පයන්ට කිසිම හිරිහැරයක් හෝ තුවාලයක් නොවෙන විදිහට උන් අල්ලන්න පුළුවන් සරල උපකරණ කිහිපයක් මම හදාගෙන තියෙනවා.. මට පුළුවන් කාලයක් මේ සර්පයන්ගේ ජීවිත බෙිර ගන්න කටයුතු කරනවා..”
ඡායාරූප👇🏻
නොචිචියාගම- එමි .පී.ජී .පෙරේරා