සිවිල් පුරවැසියන්ට ලබා දී ඇති සියලුම ගිනි අවි සහ පතරොම් තාවකාලිකව රජයට භාරගැනීම ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්
සිවිල් පුරවැසියන්ට තම ජිවිත ආරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ලබාදී තිබූ සියලුම වර්ගයේ ගිනි අවි හා පතරොම් 2024 නොවැම්බර් 21 දිනට පෙර ප්‍රමාණාත්මකව සමාලෝචනය කිරීමේ පරමාර්ථයෙන් නැවත රජයට භාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය විසින් මීට ඉහත දැනුම් දී තිබුණා.
අදාල නිවේදනයට ප්‍රතිචාර දක්වමින් මේ වනවිට 85% ක් පමණ බලපත්‍රලාභීන් විසින් එම ගිනි අවි නැවත භාරදීමට කටයුතු කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
එමෙන්ම, එම පුරවැසියන්ට ගිනි අවි තවදුරටත් ළඟ තබා ගැනීමට අවශ්‍ය නම් එකී අවශ්‍යතාවය පැහැදිලි කරමින් 2024 ඔක්තෝබර් 30 වන දිනට පෙර ආරක්ෂක අමාත්‍යාංශයට අභියාචනා ඉදිරිපත් කරන ලෙස ද දැනුම් දී තිබුණා.
එම අභියාචනා ඉදිරිපත් කළ බලපත්‍රලාභින්ගේ ගිනි අවි පරික්ෂා කර සමාලෝචනය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය වෙත ගිනිඅවිය සමඟ අදාල ලේඛන ඉදිරිපත් කරන ලෙස ඔවුන් වෙත දැනුම් දී ඇති බවත් සඳහන්.
ඒ අනුව ජීවිත ආරක්ෂාව සඳහා එක් පුද්ගලයෙකුට එක් ගිනි අවියක් පමණක් ලබා දීම ආරක්ෂක අමාත්‍යාංශයේ තීරණය වන අතර එය ද බුද්ධි වාර්තාවන් මත පදනම්ව සිදුකරනු ලබන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරන්නේ.
එමෙන්ම ගිනිඅවි ළඟ තබාගැනීම සඳහා ඉදිරිපත් කරන ලද අභියාචනා සියල්ල සමාලෝචනය හා අදාළ ගිනි අවි පරික්ෂාව 2025 ජනවාරි මස 20 වන දින අවසන් කිරීමට නියමිත බව සඳහන්.
එනිසාවෙන් බලපත්‍රලාභීන්ට එදිනට පෙර ගිනි අවි විගණනය සඳහා ඉදිරිපත් කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.
තවද, පසුගිය සමයේදී පුද්ගල ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලීසිය විසින් සැලකිය යුතු ගිනි අවි හා පතරොම් ප්‍රමාණයක් නිකුත් කර ඇති බව නිරීක්ෂණය වී ඇති බැවින් එම ගිනි අවි හා පතරොම් ද 2024 දෙසැම්බර් මස 31 දිනට පෙර නැවත රජයට භාර දෙන ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.
එබැවින් එම උපදෙස්වලට අනුව මෙම ගිනි අවි හා පතරොම් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලෙසත්, නියමිත දිනට පෙර ගිනි අවි සංගණනය හා විගණනය සඳහා ඉදිරිපත් නොවන ගිනිඅවි ළඟ තබා ගන්නා බලපත්‍රලාභීන්ට එරෙහිව 1916 අංක 33 දරණ තුවක්කු ආඥා පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි එම අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.
සිවිල් ජන සමාජය තුළ ගිනි අවි පරිහරණය හා අවභාවිතය අවම කිරීම තුළින් මෙන්ම නිසි නියාමනයක් කිරීම තුළින් සුරක්ෂිත සමාජයක් තහවුරු කිරීම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් ගන්නා ලද මෙම තීරණයට අනුගතව මේ දක්වා භාර නොදුන් හා විගණනයට ඉදිරිපත් නොකළ සියලුම බලපත්‍ර සහිත ගිනි අවි 2025 ජනවාරි මස 20 වන දිනට පෙර භාර දීමට කටයුතු කරන ලෙස අදාල පාර්ශ්වයන් වෙත ආරක්ෂක අමාත්‍යාංශය යළිත් අවධාරණය කර සිටියි.