බන්ධනාගාරය තුළ සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඩපවත්වන්න
බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ, ජනාධිපති කාර්යාලයේ අද (30) පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධ රැඳවියන්ගේ නඩු කටයුතු කඩිනමින් නිම කරන ලෙසයි,එහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.
ඒ සඳහා මාර්ගගත ක්‍රමය අනුගමනය කිරීමේ හැකියාව අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන් බව සඳහන්.
මාර්ගගත ක්‍රමයට නඩු කටයුතු සිදු කිරීමේ දී මතු වන දුෂ්කරතා හඳුනාගෙන ඊට අදාළ යටිතල පහසුකම් වැඩිදියුණු කරන ලෙස ද ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දුන්නා.
බන්ධනාගාර තුළ සිදුවන අක්‍රමිකතා සඳහා නිලධාරීන්ගේද සම්බන්ධයක් ඇති බවට මතු වන චෝදනා පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
ඊට සම්බන්ධ නිලධාරීන්ට ආයතනයේ විනය ක්‍රියා මාර්ගවලට එහා ගොස් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස්දී තිබෙනවා.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ දැනට තිබෙන පුරප්පාඩු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර එම පුරප්පාඩු කඩිනමින් පිරවීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණා.