ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සංවර්ධනයට පියවර

ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සංවර්ධනයට පියවර

ඉදිරි තෙවසර තුළදී ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඒ, මෙරට ජීවත්වන ජනතාවට ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් අඛන්ඩව ලබා දීම සඳහායි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ආයුර්වේද වෛද්‍ය සභාවට සාමාජිකයන් පත් කිරීම වෙනුවෙන් ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී සභාපතිවරයා ඇතුළුව සාමාජිකයින් 23 දෙනෙකු ගෙන් සමන්විත වන ආයුර්වේද වෛද්‍ය සභාවේ නිලධාරින් සඳහා අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කර ඇති බව සඳහන්.

ඉන් අනතුරුව ආයුර්වේද වෛද්‍ය සභා සැසිවාරය ද  අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති බවයි, සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

ඉදිරි කාලය තුළ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට සහ ද්විතීක හා තෘතීයීක අංශයේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට සැලැසුම් කර තිබෙනවා.

එමෙන්ම රට තුළ දේශීය ඖෂධ නිෂ්පාදනය සහ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ අඛණ්ඩව රෝහල් සහ සෞඛ්‍ය ආයතනවලට සැපයීම, මෙරට ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට කටයුතු කිරීම සහ සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම යන ප්‍රධාන ධාරාවන් ඔස්සේ සෞඛ්‍ය සේවාව විශිෂ්ට මට්ටමකට ඔසවා තැබෙනු ඇති.

මෙරට ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා දැනට පවතින ආයුර්වේද ක්ෂේත්‍රය සංවර්ධනයට පියවර ගැනීම මෙන්ම බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි, හෝමියෝපති, පාරම්පරික සහ දේශීය වෛද්‍ය ක්‍රමයන් පිළිබදවත්, පවතින කාලීන ගැටලු මෙහිදී අමාත්‍යවරයා කරුණු විමසූ බව සඳහන්.

එහිදී විසඳුම් ලබාදිය හැකි යැයි හඳුනාගත් ගැටලු රාශියකට කඩිනම් විසදුම් ලබාදීමට එම අවස්ථාවේදීම නලින්ද ජයතිස්ස මහතා කටයුතු කර තිබෙනවා.

ඉදිරි සැළසුම් සකස් කිරීම සහ ගැටළු විසදීම සදහා ඉතා දීර්ඝ ලෙස වෛද්‍ය සභාවේ සාමාජිකයන් සහ නිලධාරීන් සමග සාකච්ඡා කරමින් කරුණු එක්රැස් කර ගැනීමටයි අමාත්‍යවරයා එහිදී කටයුතු කර ඇත්තේ.

Share This