ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට චීනයට

ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට චීනයට

චීනයේ නැන්ජින් නුවර පැවැත්වෙන 20 වැනි ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස හෙට (19දා) චීනය බලා පිටත් වීමට නියමිතය. මෙවර ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලි ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිසක් මෙවර තරගාවලියට සහභාගි වෙති. ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ සහාය දිවීමේ ඉසව්වට ශ්‍රී ලංකාව තරග වදින්නේද මෙම තරගාවලි ඉතිහාසයේ පළමුවැනි වතාවටය.

මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 12 දෙනෙක් සහභාගි වෙති.

ඒ අනුව මීටර් 400×4 සහාය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා සහ පිරිමි කණ්ඩායම් මෙහි තරග වදිනු ඇත. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධානය කළ කෙටි දුර ධාවන ශූරතා තරගාවලියේ දැක්වූ දස්කම් මත මීටර් 60 ධාවන ඉසව්වෙන් චමෝද් යෝධසිංහ, මීටර් 400 ඉසව්වෙන් කාලිංග කුමාරගේ, මීටර් 60 කඩුලු පැනීම ඉසව්වෙන් කවීශ බණ්ඩාර ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා තිබේ.

මීටර් 400×4 සහාය දිවීමේ පිරිමි ඉසව්ව නියෝජනය කරමින් එම්.එම්. මධුෂාන්, ඔමෙල් සිල්වා, සදෙව් රාජකරුණා සහ ඉසුරු ලක්ෂාන් තරගාවලියේ ක්‍රීඩා කරති. මීටර් 400×4 සහාය දිවීමේ කාන්තා ඉසව්ව නියෝජනය කරමින් නදීෂා රාමනායක, සයුරි මෙන්ඩිස්, ජිත්මා විජේතුංග, නිෂේන්ද්‍රා ප්‍රනාන්දු, ජයේෂි උත්තරා තරගාවලියට සහභාගි වෙති. ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පුහුණුකරු සංජීව වීරක්කොඩිද තරගාවලිය නියෝජනය කරයි.

මෙහිදී මීටර් 400×4 සහාය දිවීමේ පිරිමි ඉසව්වේදී ශ්‍රී ලංකාව සමඟ සත්කාරක චීනය, ඇමෙරිකාව, ජැමෙයිකාව, නයිජීරියාව හංගේරියාව තරග වදියි. මීටර් 400×4 කාන්තා ඉසව්වේදී ශ්‍රී ලංකාව සමඟ චීනය, ඇමෙරිකාව, පෝලන්තය, ඉන්දියාව සහ  ඕස්ටේ්‍රලියාව තරග වදිනු ඇත.

මෙවර මෙම තරගාවලිය ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ වසර 9කට පසුවය. 2016 වසරේ ඇමරිකාවේ පෝට්ලන්ඩ්හි පැවැති ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී ඉමාෂ හේෂාන් මීටර් 60 ඉසව්ව නියෝජනය කළේය. අනතුරුව 2018, 2022 සහ 2024 වසරවල පැවැති ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එකදු ක්‍රීඩක ක්‍රීඩිකාවක හෝ සහභාගි නොවීය.

එසේම මීට පෙර මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ක්‍රීඩා කර ඇත්තේ 2001 වසරේදී ය. එහිදී සුගත් තිලකරත්න, සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා සහ රොහාන් ප්‍රදීප් කුමාර මෙම තරගාවලිය නියෝජනය කළහ.

  • පසිඳු මිහිරාන් රැටියල
Share This