ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් වෙයි

2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (05) සුදුසුකම් ලබාගත්තා.

ඒ, ඉන්දියාව සමඟ පැවැති බෝඩර් – ගවස්කාර් තරගාවලියේ පස්වන සහ අවසන් තරගය කඩුලු 06කින් ජයගැනීමත් සමඟින්.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 185ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 181ක් පමණයි.

ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 04ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ඉන්දිය කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 157ක්.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 162ක ඉලක්කයක් හිමි වුණා.

ඔවුන් කඩුලු 04ක් පමණක් දැවී තරගයේ වාර්තා කළා.

ඒ අනුව බෝඩර් – ගවස්කාර් තරගාවලිය තරග තුනට එකක් ලෙස ජය ගනු ලැබුවේ, වසර 10කට පසුවයි.

මේ අතර  ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාවට ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට පිවිසීම තිබූ අවස්ථාව අහිමි වුණා.

මෙම තරගය ජයපැරදුමෙන් තොරව අවසන් වූයේ නම් ශ්‍රී ලංකාවට අවසන් මහා තරගය පිළිබඳව තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාව පැවැති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙම තරගය එලෙස නිමාවට පත්වී තිබුණ ද,  ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරග දෙකම අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත යුතුයි.

කෙසේ වෙතත් මේ වනවිට ඉන්දියාව සමඟ පැවැති තරගය ජයගැනීම හේතුවෙන් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතයි.

Share This